(කුරුණෑගල විශේෂ අතුල පී. බණ්ඩාරනායක සහ වැල්ලව ශිවා බණ්ඩාර)
මුහුණු පොතින් හඳුනාගත් තරුණයකු සමග බිරිඳ පැවැත්වූ අනියම් ප්‍රේම සම්බන්ධය හසුවී ඇතිකරගත් ආරවුලකදී පුරුෂයා බිරිඳගේ කන හපා කෑල්ලක් කඩාගත්තේ යැයි කියන සිද්ධියක් වැල්ලව පොලිසියෙන් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ පරීක්ෂණ අනුව මුහුණ පොතින් හඳුනාගත් මීගමුව ප්‍රදේශයේ තරුණයකු සමග බිරිඳ අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වන බව පුරුෂයාට අසුවී ඇති බවත්, දෙදෙනා අතර ඇතිවූ ආරවුලකදී පුරුෂයා බිරිඳගේ වම් කන හපා කෑල්ලක් කඩාගෙන ඇති බවත් හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
කඩාගත් කනේ කෑල්ල ද රැගෙන බිරිඳ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් සිදුකළ සැත්කමකින් කනේ කෑල්ල බද්ධ කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
හිරිපිටිය, කළුගල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි බිරිඳත්, 35 හැවිරිදි පුරුෂයාත් දරුවන් තිදෙනෙකුගේ මව්පියන් බවත්, දැනට මාසයක පමණ කාලයක සිට දෙදෙනා අතර මෙම ආරවුල ඇතිවී තිබෙන බවත්, බිරිඳ දරුවන් තිදෙනා පුරුෂයා ළඟදමා ඇගේ මවගේ නිවසට ගොස් මාසයක් පමණ වන බවත් පුරුෂයා එහි ගිය අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවූ ආරවුලකදී කන හපාකෑම සිදුවී ඇති බව හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ යැයි කියන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව ද පොලිසිය පවසයි.
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක, සහකාර පොලිස් අධිකාරි (ෂෂෂ) පාලිත අමරතුංග මහත්වරුන්ගේ උපදෙස් පිට වැල්ලව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක රූපසේන, පොලිස් සැරයන් බන්දුල (12515) හා පොලිස් කොස්තාපල් සිසිර (35695) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වති.

