මුහුණු පො​තේ ප්‍රේම මන්දිරය ගුටි ප්‍රහාරයකින් සුනු විසුනුවෙලා


(හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන)
මුහුණු පොතෙන් හඳුනාගත්  බව කියන  තිස් හැවිරිදි පෙම්වතිය සොයා පැමිණි විසි හැවිරිදි තරුණයකුට එම කාන්තාවගේ සැමියාගේ පහර කෑමට ලක්ව පොලිස් කූඩුවේද ලගින්නට වීමේ සිද්ධියක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


 පෙම්වතිය දරුවන් දෙදෙනකු සිටින විවාහක කාන්තාවක වන අතර පෙම්වතා  අවිවාහකයෙකු බව පැවසේ. කාන්තාව මුහුණු පොත හරහා තරුණ පෙම්වතා සමග පෙමින් බැඳෙන අතර සැමියාට හොරෙන් මෙම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් තිබේ.


සැමියා ගෙදර නොමැති දිනයකදී ඇය සිය පෙම්වතාට ගෙදර එනලෙස ආරාධනා කර ඇති අතර ඔහු  සැතපුම් සිය ගණනක් ගෙවා යතුරු පැදියකින් කාන්තාව පදිංචි ගමට ආසන්න නගරයට පැමිණ තිබේ.     


ස්කූටරයේ නැගුණු කාන්තාව දරුවන් දෙදෙනා සමග පිටව ගොස් වැඩිමහල් දරුවා සිය මහ ගෙදර නතර කර කුඩා දරුවා සමග පෙම්වතා මුණගැසීමට නගරයට ගොස් ඇත. පෙම්වතා හමුවූ කාන්තාව ඔහු සමග රාත්‍රී හතට පමණ නිවසට පැමිණ ඇතැයි පැවසේ.


නාදුනන තරුණයකු සමග කාන්තාව නිවෙසට පැමිණෙන අයුරු දුටු අසල්වාසීන් විමසිලිමත් වී ඇත. අසල්වැසියන් කාන්තාවගේ සැමියා දැනුවත් කර ඇත.


රාත්‍රී එකොළහට පමණ සැමියා නිවෙසට පැමිණ බිරියට කතා කර ඇති අතර, ඇය දොර විවෘත කර නොමැත. ඉන් කෝපයට පත් සැමියා නිවස අසල තිබූ පොල් උල රැගෙන දොර කඩා බිරියගේ පෙම්වතාත් බිරියත් පොලිසියට බාරදී ඇතැයි පැවසේ.


පොලිසිය පසුදින සිද්ධිය පිළිබදව විමර්ශනය කර  ඇති අතර බිරිය බාර ගැනීමට සැමියා කැමැත්ත පළකිරීම නිසා බිරිය සැමියා සමග නිවස බලා පිටත්ව ගොස් ඇති අතර තරුණයාටද අවවාද කර මුදා හැර ඇති බව සැලවේ.