හිඟුරානේ නවරත්න සමරතුංග සහ දිගාමඩුල්ල විශේෂ ඥානසිරි හෙට්ටිආරච්චි
මුව මස් කියා රුපියල් 18700ක් වියදම් කර අමුතුම ‘කෑමක’ කිලෝ විස්සක් මිලදී ගත් සිද්ධියක් අම්පාරෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
එක්තරා ප්‍රසිද්ධ මංසන්ධියක පිහිටි වෙළෙඳ සලකට පැමිණි තරුණයන් දෙදෙනෙක් එහි අලෙවි කිරීමට තිබුණ පිහියක් මිලදී ගැනීම සඳහා මිල විමසූහ.
පිහියක මිල රුපියල් 1300 බව මුදලාලි පැවසුවෙන් එය මිලදී ගැනීමට කැමැත්ත පළකළ තරුණයින් දෙදෙනා තමන් සතුව මුවමස් කිලෝ විස්සක් ඇති බවත් කිලෝවක් රුපියල් 1000 කට අලෙවි කරන බවත් පැවැසුවේ ඉතා විශ්වාසවන්ත අයුරෙනි.
පිළිතුරක් දීමට මුදලාලි මදක් කල්පනා කරනු දුටු ඔහුගේ ගෝලයා මස් කිලෝවක් රුපියල් 1500කට අලෙවි කළ හැකි බව පැවැසීය.
ඒ අනුව මස් තිබෙන ස්ථානය විමසූවිට එම ස්ථානයේ සිට කිලෝමීටර් 10 ක පමණ දුරින් පිහිටි තවත් ප්‍රසිද්ධ මංසන්ධියක නම පැවසීමෙන් පසුව ගෝලයාත්, තරුණයන් දෙදෙනාත් ඔහුගේ වෑන් රියේ නංවාගෙන එම මංසන්ධියට පැමිණියේය.
ඉන් පසුව තරුණයෝ දෙදෙනා රියෙන් බැස මුව මස් රැගෙන ඒම සඳහා ඒ අසල ස්ථානයකට දුවගොස් පොහොර උරයක් කර තබාගෙන වෑන් රිය ළඟට පැමිණියහ.
පොලීසිය එන්නට ඉඩ ඇති බව සිතූ මුදලාලි මස් නරක්වී ඇද්දැයි කඩිනමින් පරීක්ෂා කරන ලෙස ගෝලයාට පවසද්දී ඔහු මස් උරය පිටතින් මිරිකා ඔබා බලමින් ඒවා නරක් වී ඇද්දැයි නාසයටද ළංකරමින් ඉඹ බලා ‘මස් ටික නරක්වී නැතැ’ යි සහතික කළේය.
ගැන බලන විට කිලෝ එක බැගින් යුත් පොලිතින් උර විස්සක් පොහොර උරයේ තිබී ඇත.
ඉන් පසුව මුදල් ගනුදෙනුව කඩිනමින් සිදුකරමින් පිහියේ වටිනාකම අයකළ මුදලාලි රුපියල් 18700/-ක් ඔවුන්ටදී නැවත තම වෙළෙඳසලට පැමිණ වෑන් රිය නිවස පිටුපස නතර කළේය.
පසුව මස් තොගය ශීත කරණයේ දැමීමට පරීක්ෂා කරද්දී අමු කෙසෙල් පතුරු පදමට තලා ඒවා කිලෝ එක බැගින් පොලිතින් උරවල අසුරා තිබෙනු දුටු ගෝලයා ඒ බව මුදලාලිට කීය.
මෙය පොලීසියට කීමටද නොහැකි සිද්ධියක් වූයෙන් කිසිවකුටවත් හෙළි නොකරන ලෙස මුදලාලි ගෝලයාට පැවැසුවත්ඔ හු පසුගියදා මීවිතෙන් සප්පායම් වූ කසිප්පු තිප්පොළකදී මේ ගැන කීප දෙනකුට පවසා තිබිණි.