මුද්දේ මැණික් ගල හොයන්න දානෙට හැදු කට්ලට් කඩා දාලා


බෙන්තොට ජේ. ඉඳුරුවගේ
පන්සලේ කඨින දානය සඳහා කට්ලට් පිසූ උපාසිකාවකගේ අතැඟිල්ලේ පැලඳි රන් මුදුවේ අල්ලා තිබී හැලු‍ණු රතු මැණික් ගලක් සෙවීමට ඇය විසින් පිසූ සහ නොපිසූ සියලු‍ කට්ලට් කඩා දැමූ බව කියන පුවතක් දකුණු පළාතේ මුහුදු බඩ ගම්මානයකින් වාර්තා විය.
කඨින පින්කමේ දානයට මෙම උපාසිකාව බාර ගෙන තිබුණේ කට්ලට් සාදා දීමයි. කට්ලට් සැකසීමට අවශ්‍ය තැම්බූ අල සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය අවශ්‍ය පරිද කලවම් කර අනා සකස් කළේ ඇයගේ දෑතිනි.


ඉන් පසු කලවම් කළ ආහාර මිශ්‍රණයෙන් සකසා ගත් ගුලි එකින් එක තෙල් තාච්චියට දමා කට්ලට් බදින්නට පටන් ගත්තේ ඉමහත් ශ්‍රද්ධාවෙනි.
ඒ අතරේ ඇය තම අතැඟිල්ලේ පැලැඳ තිබූ මුදුවේ සවිකර තිබූ කුඩා රතු මැණික් ගල නොමැති බව දැක කලබල වී කට්ලට් බැදීමත් නතර කර මැණික් ගල සොයන්නට වූවාය. නක්ෂත්‍රකරුවෙකුගේ උපදෙස් පරිදි එම මැණික් ගල මුද්දට සවිකර තිබුණේ ඇයට බලපා තිබූ ග්‍රහ අපලයක් දුරු කරගැනීමටය.
ඒ වන විට නිවසේ සිටි තම දියණියකද සමගින් මුලු‍තැන්ගෙයි ඇතුළු ගෙය හැමතැනම සොයා බැලු‍වත් මැණික් ගල හමු නොවිණි.
අවසානයේ මවත් දුවත් තීරණය කරන ලද්දේ අතින් කට්ලට් මිශ්‍රණය සැකසීමේදී මුදුවෙන් ගල ගැලවී එම මිශ්‍රණයට කලවම් වන්නට ඇතැයි කියාය.
ඒ අනුව දෙදෙනාම එකතුවී ඒ වන විට බැද නොතිබූ කට්ලට් සහ බැද තිබූ කට්ලට් සියල්ල කඩා කුඩු කර පරීක්ෂා කළේ තරගයට මෙනි. නමුත් මැණික කට්ලට්වල නොතිබිණි.
මේ වන විට දානයට කට්ලට් ගෙන යා යුතු වෙලාවද ළංවී තිබුණෙන් මැණික් ගල සෙවීම පසෙකලා දෙදෙනාම එක්ව කඩා දැමූ කට්ලට් යළිත් වතාවක් ගුලි කරමින් ලහි ලහියේ කට්ලට් සාදන්නට පටන් ගත්හ. නමුත් කාලය මදි වූයෙන් බාර ගත් කට්ලට් ප්‍රමාණයෙන් අඩක් පමණක් දානයට ගෙන යාමට උපාසිකාවට සිදුවූවාය.


උපාසිකාව දියණියද සමග හිත අසතුටෙන් මෙන් කට්ලට් රැගෙන පන්සලට යද්දී අම්මේ හිත නරක් කර ගන්න එපා. ගල නැතිවුණේ අපලේ ඉවර නිසා වෙන්න ඇතැයි කියමින් දියණිය මව අස්වැසුවාය.