ගනේමුල්ල කොස්සින්නේ තරුණයෙක් යතුරුපැදියෙන් ගනේමුල්ල නගරයට යමින් සිටියේය. ගනේමුල්ලේ බස් නැවතුම්පොළට මීටර් 500ක් පමණ දුරින් කඩවත පාරේ කිසියම් දෙයක් වැටී තිබෙනු ඔහු දුටුවේය. එය මුදල් පසුම්බියකි. ඔහු එය ගන්දෝ නොගන්දෝ කියා මඳක් කල්පනා කළේය.
මුදල් පසුම්බිය එම ස්ථානයේම දමා ගියහොත් වෙනත් කවුරුන් හෝ ගනීවි යැයි කල්පනා කර එය අයිතිකරුට සොයාදෙමියි සිතා අහුලා ගත්තේය.
ඉන්දික ප‍්‍රසාද් (25) නම් මේ තරුණයා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සේවය කරන්නෙකි. තමා සේවය කරන ස්ථානයට ගොස් මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේදී එහි රුපියල් 3000ක් මෙන්ම ජාතික හැඳුනුම්පත් සහ තවත් වැදගත් දෑ තිබූ බව දුටුවේය. හැඳුනුම්පතේ ඡුායාරූපය මතකයේ තබාගත් තරුණයා අයිතිකරුට කෙසේ හෝ එය ලැබීමට සලස්වන අදහසින් ලාච්චුවේ දැමීය.
ඊට පැය ගණනකට පසු තමන් සේවය කරන පෞද්ගලික අධ්‍යාපන ආයතනයට සිසුවකු ද සමග පුද්ගලයෙක් පැමිණියේය. ඔහු දුටු විගස තරුණයාට මතක් වුණේ තමා පාරේ වැටී තිබූ අහුලාගත් මුදල් පසුම්බියේ තිබූ ජාතික හැඳුනුම්පතේ ඡායාරූපයයි. එය නැවත එළියට ගෙන බැලූ විට දරුවකු සමග පැමිණි පුද්ගලයා හැඳුනුම්පතේ සිටි පුද්ගලයාම බව හඳුනාගෙන ”ඔබගේ මොනවා හරි නැතිවුණා දැයි” විමසා මුදල් පසුම්බිය පෙන්වීය.
එතැන සිටි සියල්ලන්ම පුදුමයට පත්වූයේ රුපියල් තුන් දහසක්, ජාතික හැඳුනුම්පත සහ තවත් ලියවිලි කිහිපයක් සහිත මුදල් පසුම්බිය බාරදුන් විට ස්තූතියි කියාවත් නොකියා ”මේක මගේ තමයි” කියමින් හිමිකරු බුරුස්ගා එය ඩැහැගෙන යෑම ගැනයි. හොඳ වැඩ කරන අයට මේවා හොඳ පාඩම් යැයි එහි සිටි හැමෝම කීවේ අයිතිකරුගෙන් නොලැබුණු ස්තූතිය ඔවුන්ගෙන දෙමිනි.

