මුඛ ආවරණ ගැන අහන්න ගිහින් මුදලාලිට මල පැනලා


(දේවහුව ප්‍රසාද් ජයකොඩි)
වෙළෙඳසලකින් බඩුගැනීමට ගිය ගලේවෙල ප්‍රදේශයේ පාරිභෝගිකයකුට එම වෙළෙඳ සළේ ප්‍රදර්ශනය කර තිබූ දැන්වීමක් පිළිබඳ විමසීමකදී වෙළෙඳසල් හිමියා පවසා ඇත්තේ ලබාගත් බඩු තබා මුදල් ආපසු රැගෙන යන ලෙසය.


පසුගිය දිනවල සෑම ආයතනයකම මෙන්ම වෙළෙඳසල්වලද දැන්වීම් පුවරු සවිකර තිබුණේ මුඛ ආවරණ පැළඳ ඇතුළු වෙන ලෙසය. අදාළ පාරිභෝගිකයාද මුඛ ආවරණ පැළඳ වෙළෙඳ සලට ගොස් ඇත. එම වෙළෙඳසලේද මෙම දැන්වීම ප්‍රදර්ශනය කර තිබුණි. වෙළෙඳසලෙන් තමන්ට අවශ්‍ය බඩු මුට්ටු ගත් පාරිභෝගිකයා මුදල් දෙන අවස්ථාවේ දැක ඇත්තේ වෙළෙඳසල් හිමියා හා එක් සේවකයකු මුඛ ආවරණ පැළඳ නොසිටින බවකි.


පාරිභෝගිකයා මේ පිළිබඳව වෙළෙඳසල් හිමියාගෙන් විමසා ඇත. එහිදී එක්වරම කෝපයට පත් වෙළෙඳසල් හිමියා පවසා ඇත්තේ මෙන්න සල්ලි බඩු ටික තබා යන්නැයි කියාය. කඩේ මුදලාලිට කේන්ති ගිය බව දැනගත් පාරිභෝගිකයා මුදල් රැගෙන වෙනත් වෙළෙඳසලකින් බඩු රැගෙන ගොස් ඇත.