ලිසී ආච්චි තරමක් සැරපරුෂ කාන්තාවකි.තම දූ දරුවන් නිතරම කල්ගෙවන්නේ අනියත බියකිනි. මන්දයත් ඔවුන් අතින් යම් අතපසුවීමක්, වැරදීමක් සිදු වුවහොත් ලිසී ආච්චිට යක්ෂයා ආරූඪවන්නේ නිරායාසයෙනි.
කෙසේ වුවද තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම කෑම බීම ඇඳුම් පැළඳුම් පිළිබඳව නිරතුරු සොයා බලා අවශ්‍ය පරිදි කටයුතු කිරීම ඇය මනා වගකීමක් ලෙසින් ඉටු කිරීමට අමතක නොකළාය. දිනක් තම මිණිබිරිය උපකාරක පන්තියකට ගොස් නිවසට පැමිණි විට පංති ගෙනයාම සඳහා ඇගේ මව සාදා දුන් උදෑසන ආහාරවේල පිළිබඳව ආච්චි විමසූ විට “ආච්චි අම්මේ කරවල ටික නම් පට්ට රහයි” යනුවෙන් පවසා කාමරය තුළට ගියාය. “මොනවා පට්ට රහයි” යනුවෙන් තමාටම කියාගත් ලිසී ආච්චි තම ලොකු දුවට කතාකොට රසට කෑම බීම පිළියෙළ කිරීම පිළිබඳව දේශනයක්දී දුවගේ කෑමවේල නිසි පරිදි සකස් කර නොදීම පිළිබඳව නොසෑහෙන සේ දොස් තැබුවාය.
එය මහා වාග් සංග්‍රාමයක් බවට පත්වූයේ නිමේෂයෙකිනි. මේ අතර තම කාමරයට ගොස් ඇඳුම් මාරු කරගෙන එතැනට පැමිණි මිනිබිරිය “ඇයි ආච්චි අම්මේ අම්මට බනින්නේ”යැයි විමසූ විට “කරවල ටික පට්ට රහයි” කියල කී නිසා අම්මට හොඳට දෙහි කැපුවා” යැයි කීවාය. එවිට මිනිබිරිය සිනාසී “අනේ ආච්චි අම්මේ, මම කරවල ටික පට්ට රහයි කියල කිව්වේ, හොඳටම රස නිසා” යැයි කී විට කරුණු අවබෝධ කරගත් ලිසී ආච්චි “අනේ මන්දා උඹලගෙ ඔය භාෂාව අපිටනං තේරෙන්නේ නැහැ” යි කියමින් මුළුතැන් ගෙයින් නික්ම ගියාය. (කඹුරුගමුවේ සමරරත්න එච්. ගමගේ)

