(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
ඖෂධ වෙළෙඳසැලකින් රැගෙන යන ලද උෂ්‍ණත්ව මානයක් (උණ කටුවක්) වැඩ නොකරන බව පවසමින් නැවත එය එම වෙළෙඳසලට ගෙන ගොස් දී හොඳ එකක් ඉල්ලීම පිළිබඳව පුවතක් පසුගිය දිනක දකුණේ නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
ඇය වයස අවුරුදු හැත්තෑවක පමණ කාන්තාවකි.
කොරෝනා රෝගය පිළිබඳව තොරතුරු ඇසෙන සෑම විටකම තමාටත් එම රෝගය වැළදී ඇත්දැයි ඈ සැක සිතුවාය.
බඩේ අමාරුවක් හැදුණත් සුළු හිසේ කැක්කුමක් හැදුණත් බියට පත්වන ඈ තම දරුවන්ට ඒ බව පවසයි. ඒ සෑම විටම ‘‘අනේ අම්මා ඔය හිතෙන් හදාගන්න ලෙඩ’’ යැයි කියමින් ඇයගේ දරුවෝ මවගේ මැසිවිලි ගණනකට නොගත්හ.
දිනක් තමාගේ ඇඟ රත්වී ඇතැයි සිතූ ඇය තමාගේ මිණිපිරියක් නිවෙස අසල ෆාමසියකට යවා උණ කටුවක් ගෙන්වාගෙන එය ටික වේලාවක් කිහිල්ල යට තබාගෙන සිට මිණිපිරිය ලවාම එය පරීක්ෂා කරවා ගත්තාය. ‘‘ආත්තම්මට උණ නැතුවා වෙන්නැති, මේක රසදිය තීරුව අංශක තිස් හතෙන් උඩට යන්නේම නෑයි’’ මිණිපිරිය කීවාය. මිණිබිරියගේ කීම නොපිළිගත් ඈ ‘‘වෙන්න බෑ, වෙන්න බෑ, මගේ ඇඟ හොඳටම රත්වෙලා. එහෙනම් ඕක කැඩිච්ච කබලක් වෙන්නැති’’ කියා උණ කටුව මිණිබිරිය වෙතින් උදුරාගෙන ලහි ලහියේ ෆාමසිය වෙත දිව ගියාය.
‘‘අනේ පුතේ මේකේ රසදිය ටික උඩට යන්නේම නැතෙයි කියාල කෙල්ල කිව්වේ. මේක අරන් මට හොඳ එකක් දියන් පුතේ’’ යැයි ඇය ෆාමසිකරුට බැගෑපත් වූවාය.
ඔහුද ඇයගේ උණ පරීක්ෂා කර බලා ‘‘අම්මට උණ නෑ. උණ තියෙනවනම් තමයි මේ තීරුව මෙතනින් උඩට යන්නේ’’ යැයි කියා බොහොම අමාරුවෙන් ඇයට කාරණාව අවබෝධ කර දුන්නේලු.