මිතුරාගේ මිනියට ආචාර කරන්න යාළුවෝ මෝචරියේ පොරේ


හොඳම හිතවතා හදිසියේ මියගියාට පසු දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරිරාගාරයේ ශීතකරණයේ තැන්පත් කර තිබුණු අවස්ථාවේ දී අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර අවසරයකින් තොරව මහ රෑ මෘත ශරීරාගාරය අසලට පැමිණ මියගොස් ඇති හිතවතාට කතා කොට ඇතැයි කියන තරුණයන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ තරුණයකු හදිසියේ අසනීප වී කෑගල්ල මහ රෝහලට ඉකුත් දිනකදී ඇතුළත් කර තිබුණි. දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණායා ඉකුත් දිනෙක සවස හදිසියේ මියගියේය. පසුව මරණය සම්බන්ධයෙන් රෝහල් පොලිසිය අදාළ පොලිසියට හා හදිසි මරණ පරීක්ෂකවරයාට දැනුම්දී තිබුණි.


යම් රෝගියකු වාට්ටුවේ දී හෝ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී මියගිය හොත් පැය දෙකක කාලයක් වාට්ටුවේ තැන්පත් කර පසුව මෘත ශරීරාගාරයට යැවීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නීතියකි.


මෙම තරුණයා ද මියගියාට පසු පැය දෙකක් වාට්ටුවේ පසෙක තැන්පත් කර කාලය ඉක්ම ගියාට පසුව වාට්ටුවේ සිට සවස 5.50 ට පමණ දේහය මෘත ශරිරාගාරයට රැගෙන ගොස්  ශීතකරණයේ තැන්පත් කර තිබේ.


හදිසි මරණ පරීක්ෂණයක් හා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මියගිය තරුණයාගේ දේහය ලබාදීමට කාල වේලාවක් එදින නොමැති බවත් දේහය ලබාගැනීමට පසුදා උදේ හදිසි මරණ පරීක්ෂක කාර්යාලයට පැමිණෙන ලෙසත් පොලිසිය ඥාතීන්ට දන්වා තිබේ. පසුව දේහය ගැනීමට පැමිණ සිටි ඥාතීන් හා හිත මිතුරන් පිරිස ආපසු හැරී නිවෙස් වෙත සන්ධ්‍යා කාලයේම ගොස් ඇත.


මධ්‍යම රාත්‍රී 12 ට පමණ ‘‘සුදු අයියේ අපි ආවා උඹව බලන්න දොර අරින්න අපි දෙන්නට උඹව බලන්න කාමරයට එන්න. සුදු අයියේ ඔයාගේ හොඳම යාළුවෝ දෙන්නා ඇවිල්ලා ඉන්නේ ඉක්මනට දොර අරින්න’’ යැයි විවිධ විලාප දෙමින් කෑ ගසන ශබ්දයක් මෘත ශරිරාගාරයේ ඉහළ මාලයේ පිහිටා ඇති පොලිස් මුරපොළේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනාට ඇසුණි.


පසුව පොලිස් නිලධාරිහු දෙදෙනා කෑගහන්නේ කවුරුන් දැයි සොයා බැලීමට ඉහළ මාලයේ සිට පහළ මාලය වෙත පැමිණියහ. එහිදී පොලිස් නිලධාරින් දෙදෙනා දැක ඇත්තේ යම් මත්ද්‍රව්‍යයක් පානය කරන ලද තරුණයන් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණ යතුරු පැදිය පසෙක නවතා දමා අත පය විසි කරමින් විලාප දෙන අයුරුය.


පොලිස් නිලධාරින් දෙදෙනා තරුණයන් දෙදෙනාගෙන් විලාප දෙන්නේ මන්දැයි විමසීමක් කර තිබේ. එහිදී තරුණයන් දෙදෙනා හොඳම මිතුරාගේ හදිසි අභාවය පිළිබඳ පොලිස් නිලධාරින් දෙදෙනාට පැවසුවේය. ‘ඔය කියන හොඳම මිතුරාගේ දේහය මෘත ශරීරාගාරයේ ශීතකරණයට දාලා තියෙන්නේ. නම කියලා රෝහල දෙවනක් කරලා අඬගැහුවාට යාළුවා දැන් එන්නේ නෑ. අවේලාවේ කෑ ගහන්නේ කවුද කියලා රෝහලේ කාර්ය මණ්ඩලයත් ඇවිල්ලා බලයි කරුණාකරලා සිද්ධිය තේරුම් ගෙන දැන් රෝහලෙන් යන්න. හෙට උදේ එන්න යාළුවාගේ දේහය ගෙනියන්න’ යැයි ප්‍රකාශ කිරීමෙන් පසුව තරුණයින් දෙදෙනා  පිටව ගොස් ඇති බව අනාවරණය වෙයි.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න