මිතුරන්ට සලකන්න ගිහින් නවක සිසුවාට තරු පෙනිලා


(චාමිනි වික්‍රමසිංහ)
එය උඩරට ප්‍රදේශයේ මිශ්‍ර පාසලකි. උසස් පෙළ පන්ති සඳහා අලුත් සිසුන් පැමිණීමත් සමඟම ඔවුන් දැන හඳුනා ගැනීමට පැරණි සිසුන් තුළ ඇති වූයේ මහත් උද්යෝගයකි. ඔහු පාසලට අලුතින් පැමිණි තරමක් නිහඬ ශිෂ්‍යයෙකි.

පැරණි සිසුන් ඔහුගෙන් නම, ගම ආදී විස්තර අසා ඔහුගේ ගම් ප්‍රදේශයේ බහුලව පවතින කිතුල් ගස ආශ්‍රයෙන් ලබා ගන්නා එක්තරා පානයක් ගෙන එන ලෙසට පැවසුවේය.

මිතුරන්ගේ උපදෙස් පරිදි පසුදින ඔහු පාසලට ඒමට සැරසුණේ ‘රා’ බෝතලයක් ද කාටත් හොරා බෑගයට දමා ගනිමිනි. පාසල කරා යාමට බසයට නැගි ඔහු බස් රථයේ සෙනඟ නිසා බෑගය අසල සිටි කාන්තාවකට තබා ගැනීමට දුන්නේය.

මඳ දුරක් යන විට බසයේ සිටි සියලුදෙනා විපරම් කර බැලුවේ පරුෂ වචනයෙන් ඇසුණු වාග් ප්‍රහාරය කා හට එල්ල වන්නේ ද යන්නය.

සිසුවාගේ බෑගය තුළ තිබූ රා බෝතලය පීඩනය වැඩි වීමත් සමඟම පියන ගැලවී ගොස් කාන්තාවගේ ඇඟේ හැලී ඇත්තේ දුර්ගන්ධය ද නංවමිනි. අවසානයේ ඔහුට සිදු වූයේ මගීන්ගේ සිනා හඬ මධ්‍යයේ ගොස් නවක මිතුරන්ගේ ද උසුළු විසුළුවලට ලක්වීමටය.