මිතුරන් එද්දී මියගිය සීයාට පණ ඇවිත්


(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)
පියල් දකුණු පළාතේය. වැඩ කළේ කොළඹ  කාර්යාලයකය. කාර්යාල කාර්යසහායකු වූ හෙයින් ඔහුගේ සේවය අත්‍යවශ්‍ය විය.

එහෙයින්ම ඔහුට නිවාඩු ලබා ගැනීම බෙහෙවින් දුෂ්කර විය. කොතෙක් දුක කීවද නියමිත නිවාඩු හැර අතිරේක  නිවාඩු ඔහුට නොලැබිණි. මෙයට විසඳුම වශයෙන් ඔහු තෝරාගෙන තිබුණේ නියමිත නිවාඩු ලැබ ගමට ගිය පසු අමතර දවස් තුන හතරක් වැඩියෙන් ගත කිරීමය.


 පියල්ට කපටිකමද හොඳට පිහිටා තිබේ. නියමිත නිවාඩුවට ගමට යාමට කලින් ‘‘ආච්චිට ආමාරුයි, සීයට අමාරුයි’ පවසමින් අවශ්‍ය පරිසරය ඔහු කල් ඇතිවම හදා ගනී. මෙවර ඔහුගේ වාක්‍ය වූයේ ‘සීයට අමාරුයි, කොයි වෙලේද දන්නේ  නෑ.’ යනුවෙනි.


මෙසේ පරිසරය හදා තබා ඔහු නිවාඩුවට ගමේ ගියේය. නිවාඩුව අවසන් වීමට නියමිත දිනයේ ඔහු කාර්යාලයට දුරකථන ඇමතුමක් ගත්තේය.


‘සීයා නැති වුනා. මම ඒ කටයුතු අවසන් කරලම එන්නම්’ ඔහු කීවේය. ආයතන ප්‍රධානියාද කාරුණික අයෙකි.


 ‘‘කමක් නෑ කමක් නෑ ඔයා ඔය වැඩ ටික කරගන්නකෝ’’ ප්‍රධානියා කීවේය.


පියල් රිසිවරය තැබුවේය. නිවසේ අයද ඔහු මෙලෙස බොරු කියා අමතර දින ගණනාවක් ගත කරන බව දනී.


පියල්ගේ සීයාගේ මරණය ගැන කාර්යාලයේ කවුරුත් කතා කරන්න පටන් ගත්හ.


‘හොඳ කොල්ලා. කම්මැලි නැතිව වැඩ කරනවා. කිහිප දෙනෙකු හරි මළ ගෙදර  ගිහින් ආවොත් හොඳයි.’ අයෙක් යෝජනා කළේය. ඒ අනුව කීප දෙනෙක් මළගෙදර යෑමට සූදානම් වූහ. ආයතනයෙන් වාහනයක් ලබාදීමට ආයතන ප්‍රධානියා කාරුණික විය.


 එම ආයතනයේ වාහනවල නම ලොකු අකුරෙන් බඳෙහි සඳහන් කර තිබේ. හත් අට දෙනෙක් මළගෙදර යාමට පිටත්  වූහ. තමන් එන බව දැන්වීමට පියල්ට දුරකථන ඇමතුම් ගත්තද පියල් ඒවාට උත්තර නොදුන්නේය. ඒ ඔහුගේ කපටිකමය. මෙතරම් දුරක් ගෙවාගෙන කාර්යාලයේ අය මළගෙදර පැමිණේවි යැයි හීනෙන් හෝ නොසිතුවේය.


 දහවල් 2ට පමණ කාර්යාලයේ පිරිස රැගත් වෑන් රිය මිදුලේ නතර කෙරිණි.


‘‘මළා’’  යැයි කී සීයා එය දුටුවේය. මෙම පිරිස පැමිණ තිබෙන්නේ මුණුබුරාගේ ‘බොරුවට’ රැවටී බව සීයා දනී.
 සීයා කලබල වී මුණුබුරා සොයාගෙන දිව්වේය.


‘‘අන්න කොළඹින් ඇවිත් උඹ හැංගියන්’’ පියල්ගේ ඇස් උඩ ගියේය.


‘‘මම නොවෙයි සීයේ උඹ හැංගියන්. මම ඔෆිස් එකට කීවේ සීයෙ උඹ මැරුණා කියලා.’’


එදා සිට පියල්ට ‘‘සීයා මළා’’ යනුවෙන් නමක් පට බැඳුණි.