මළ ගෙවල් හුටපටෙන් නෝනා අන්දුන් කුන්දුන් වෙලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
එහා හන්දියේ තිබූ මළ ගෙදරත් මෙහා හන්දියේ මළ ගෙදරත් නිසා අන්දුන්කුන්දුන් වූ කාන්තාවක පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.


විදෙස්ගත සැමියාගෙන් සිය බිරියට දුරකතන ඇමතුමක් ලැබුණේ තමා සමඟ එකට සේවය කරන අයකුගේ පියාගේ මරණයක් පිළිබඳවය. රෑට එහි යන ලෙසත් යන විට බිස්කට්, සීනි තේ කොළ ඇතුළු දෑ රැගෙන යන ලෙසත් ඔහු ඇයට කීවේය.


ඒ ගමේම ඇත්තේ එකම මළ ගෙයක් බවත් මාර්ගයේ ගමන් ගන්නා විට හමුවන හංදියේ සුදු කොඩිය දමා ඇති තැනින් හැරී ටික දුරක් යන විට මළ ගෙදර හමුවන බවත් මිතුරාගෙන් අසාගෙන ගමනේ වංහුං ඔහු බිරියට කීවේය.


ඒ අනුව ඇය ඒ ගමට ගියාය. ගමේ හංදියක සුදු කොඩියක් දුටුවාය. මේ ඒ මළ ගෙදර යැයි ඇය සිතූ අතර මළගේ වත්තේ ඇතුළෙන්ම පිහිටා තිබිණි. ගේට්ටුව ආසන්නයේ නිවසේ අය විදුලි පහන් සවිකරමින් සිටියහ.

නොහැඳුනුවත් නිවසේ කාගේ හරි හිතවතුන් වන්නට ඇතැයි සිතූ නිවැසියෝ ඇයට ආචාර කළහ. මේ නිවැසියන් වන්නට ඇතැයි සිතූ ඇය බරට බරේ උස්සාගෙන ආ බඩු මලු කිහිපය ඔවුන්ට දුන්නේ දරා සිටි බරෙන් නිදහස් වීමට තිබූ කැමැත්ත නිසාය.


ඒ සමඟම නිවැසියන් සමඟ ඇය නිවෙසට ගියේ මිය ගිය පිරිමි පුද්ගලයාට අවසන් ගෞරව දැක්වීමටය. දේහය කාන්තාවකගේ බව දුටු ඇයට හීන් දහඩිය දැම්මේය. මේ ගමේ පිරිමි අයෙකු මිය ගොස් ඇත්දැයි අහල පහළ සිටි අයගෙන් ඇය ඇසුවේ තමන්ට වැරදීමක් සිදුව ඇති බව දැන ගැනීමටය. ආ ඔව් ඔව් එහා හන්දියේ ඊයේ පිරිමි කෙනෙක් මිය ගියා. අද තමයි මේ කාන්තාව මිය ගියේ යයි අහල පහළ සිටි අය කීවිට ඈ දුක්වූයේ දැන් ඉතිං කුමක් කරන්න දැයි සිතමිනි.