කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
වැඩි ආරක්ෂාව පතා මිත්තනියගේ නිවෙසේ නතර කර සිටිය දී මිත්තනිය තද නින්දට වැටුණු අවස්ථාවේ දී පෙම්වතා සමග පැන ගොස් ඇතැයි කියන තරුණියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ නිවෙසක මව්පියන් සමග 21 හැවිරිදි තරුණියක් පදිංචිව සිටියාය. ඇයට වැඩිමහල් සහෝදරයකු ද වූ අතර පියා ආරක්ෂක අංශයේ රැකියාවක් කළේ දුර බැහැර ප්‍රදේශයකය. මව තරුණිය සමග නිවසේ පදිංචිව සිටියාය.
මාස දෙකකට පමණ වතාවක් නිවෙසට පැමිණෙන තරුණියගේ පියා තම එකම දියණිය කාලයක සිට හඳුනන තමන් සමග සේවය කරන හිතවතකුගේ විදේශ රටක ස්ථිර පදිංචිව සිටින තරුණයකුට විවාහ කර දීමට බලාපොරොත්තුවෙන් සිටියේය.
දෙපාර්ශවයේම මව්පියන් දරුවන් දෙදෙනාගේ හඳහන්පත් ජ්‍යොතිර්වේදියකුට කාලයකට ඉහතදී ලබා දුන්නේ අනාගත බලාපොරොත්තුව මල්පල ගැන්වීමේ අදහසිනි. එහිදී ඔවුන් දෙදෙනාගේ වේලාවල් ඉතා ඉහළින් ගැලපී තිබේ.
තරුණිය මාස ගණනාවක සිට සිය මවට හොර රහසේ අල්ලපු ගමේ පදිංචිව සිටින තරුණයකු සමග ඇයිහොඳයියක් පවත්වන බව දිනක් අසල්වැසි කාන්තාවක් දැක තරුණියගේ මවට ප්‍රකාශ කළාය.
පසුව තරුණියගේ මව සිය සැමියාට ද සිද්ධිය සම්බන්ධයෙන් දන්වා දියණිය ආරක්ෂා කර ගත යුතුව ඇතැයි පවසා කෑගල්ලේ ගමක තනිවම පදිංචිව සිටින මවගේ නිවෙසේ මීට මාස හතරකට පමණ ඉහතදී තරුණිය නතර කළාය.
දින කිහිපයක් තරුණිය මිත්තනියගේ නිවෙසේ කාමරයක කල් ගෙවමින් සිටින අවස්ථාවේ දී මිනිපිරිය තරුණයා සමග දුරකතනයෙන් නිතර නිතර දොඩමලු වෙන අයුරු මිත්තනිය සියැසින් දැක තිබුණි.
මිනිපිරිය තරුණයා සමග පැන යයි දෝ කියන සැකය මත සති දෙකක පමණ සිට මිත්තනිය නිදා ගන්නා ඇඳේ කොටසක් ඇයට ද රාත්‍රි නිදාගැනීමට සලස්වා දී තිබුණාය.
මිත්තනිය හා තරුණිය ඇඳේ නින්දට වැටුණාය. මිත්තනිය ගොරව ගොරවා තද නින්දට වැටුණු අවස්ථාවේ දී තරුණිය මිත්තනියගේ ඇඟ උඩින් පැන දොර ඇර නිවෙසින් පිට වී තරුණයා සමග පැන ගොස් සිටියා.
ගොරව ගොරවා නින්දේ සිටි මිත්තනිය පාන්දර අවදිවීමෙන් පසුව කළුවරේම අත පතගා මිනිපිරිය ඇඳේ සිටිනවා දැයි සොයා බැලීමක් සිදු කළාය.
මිනිපිරිය ඇඳේ නොමැති බව දැනගත් මිත්තනිය හනික නැගිට රඹුක්කන පදිංචිව සිටින දියණියට කතා කොට මිනිපිරිය නිවෙසේ නොමැති බව පැවසුවේ වෙන කළ හැකි දෙයක් නොමැති හෙයිනි.
තරුණිය එළියවැටෙමින් පවතින අවස්ථාවේ දී මවගේ දුරකතනයට ඇමතුමක් ගෙන කියා ඇත්තේ කිරි අම්මාට නොදන්වා තමන් පෙම්වතා සමග ගිය බවය. සොයන්න එපා කරදරයක් නැතිව සිටින බවද ඇය මවට දන්වා ඇත්තේ සතුටින් ඉපිලෙමිනි.