මවගේ බිඳුණු පාදයට පුතා අමුතු පත්තුවක් බැඳලා


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

අම්මාගේ බිඳුණු පාදයට බඳින පත්තුවට ඇහැළපොතු කියා වල් බිලින් පොතු යොදා පත්තුවක් හදා බැන්ද බව කියන පුතකු පිළිබදව පසුගිය දා ගම්පහ යක්කලට නුදුරු ගම්මානයකින් වාර්තා විය.

තරුණ පුතෙකි. මව දින කිහිපයකට පෙර අනතුරකට ලක්ව පාදයක් බිදීමට ලක්වූවාය. කැඩුම් බිඳුම් ප්‍රතිකාර ලබාගෙන පැමිණ ප්‍රතිකාර කරන අතරේ එක් පත්තුවකට ඇහැළ පොතු ගැනීමට නියමිතව තිබිණි.

පියා පුතා අමතා වත්ත පහළ කොස් ගහ ළඟ ඇති ඇහැළ ගහෙන් පොතු ගලවාගෙන එන ලෙස දැන්වීය. මන්නයක්ද රැගෙන ගිය පුතා ඇහැළ පොතු රැගෙන ආයේය. සියල්ල වංගෙඩියකට දමා කොටන ලෙස පියා කළ ඉල්ලීම අනුව පුතා බෙහෙත් කොටා දුන්නේය. පත්තුව හැදු පියා බිරියගේ පාදයට එයින් ප්‍රතිකාර කළේය.

දෙදිනකට පසු පියා වත්ත පහළට ගිය විට දී වල්බිලින් ගසේ පොතු ගසා ඇති වග දුටුවේය. ඇහැළ ගසේ පොතු ගැල වූ සලකුණක්ද නොවීය. ඒ ගැන සොයා බලද්දී පුතා වැරදීමකින් ඇහැළ ගස අසල තිබූ වල් බිලින් ගහෙන් පොතු ගලවාගෙන ගොස් බෙහෙත් කොටා ඇති බව තේරුම් ගත්තේය.

වහා නිවෙසට ගිය පියා බිරියගේ පාදයට බෙහෙත් පත්තුවද බැඳ තිබුණි. පාදයේ අමාරුව ද සුව විය. කෙසේ හෝ මේ ආරංචිය පුතුගේ මිතුරන් කනට ගිහින් දැන් ඔවුන් “මචං ඇහැළ වල් බිලින් වගේද“ කියා මිතුරා ගෙන් අහනවාලු.