මව සැප රියකින් නිවෙසට ගෙනගිය පුතා ගැටේ ලිහා බස්රියකින් ආපසු එවලා


(හඟුරන්කෙත - ඒ.ජේ. කරඳගොල්ල)
සිය මවගෙන් බිව් කිරිවල පව් ගෙවීමට අවශ්‍ය බව පවසා මව නවීන වාහනයකින් නිවෙසට රැගෙන ගිය පුතකු මව සතුව තිබූ රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ගෙන ඇය බස් රථයකින් නිවසට එවීමේ පුවතක් මතුරට පොලිස් වසමේ දුෂ්කර ගම්මානයකින් වාර්තා විය.


වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.


මතුරට පොලිස් වසමේ දුෂ්කර ගම්මානයක පදිංචිව සිටින මෙම වයෝවෘද්ධ මවගේ වැඩිමහල් පුත්‍රයා පොලොන්නරුව ප්‍රදේශයේ රෙදි පිළි අලෙවිසලක් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි. මවගේ පුත්‍රයකු යුද හමුදාවේ රාජකාරී කිරීමේදී අතුරුදන්වීම හේතුවෙන් විශ්‍රාම වැටුපක් හිමිවන අතර එයින් සිය සැමියාද සමග සතුටින් වාසයකර ඇත.


පසුගිය දිනක වායු සමනය කළ නවීන රථයකින් පැමිණි වැඩිමහල් පුත්‍රයා මවගෙන් බිව් කිරිවල පව් ගෙවීමට අවශ්‍ය බැවින් සිය නිවසට පැමිණෙන ලෙස පවසා ඇත. සිය වැඩිමහල් පුත්‍රයාගෙන් ඇප උපස්ථාන ලබාගැනීමට ප්‍රථම වරට අවස්ථාවක් ලැබීමෙන් අපමණ ප්‍රීතියට පත්වු මවද සිය පුත්‍රයාගේ නවීන රථයෙන් පුතාගේ නිවස බලා පිටත්ව ඇත.


මාස දෙකක පමණ කාලයක් සිය වැඩිමහල් පුත්‍රයාගේ නිවසේ සිටියදී පුත්‍රයා මව සතුව තිබූ රුපියල් පනස් දහසක මුදලක් මුලින්ම රැගෙන ඇති අතර පසුව මවගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂයක මුදලක්ද ඇය රවටා ලබාගෙන ඇත. රෙදිපිළි මාලිගයක හිමිකරුවෙකු වෙන මෙම පුත්‍රයා මුදල් ලබාගැනීමෙන් පසුව මව ඇඳගෙන ගිය ඇඳුම් පිටින්ම බස් රථයක නංවා හිස් අතින්ම නිවසට එවා ඇත. පිනට දීමට තිබූ මුදල් අහිමිවීමෙන් මව දැඩි සංවේගයට පත්ව මේ බව වසම් භාර ග්‍රාම නිලධාරී මහතාද හමුවී සිය දුක්ගැනවිල්ල පවසා ඇත.