මනාලිය බලන්න ගිහින් ගේදොර වතුපිටිවල දිග පළලත් හොයලා


 

ඔහු කලක පටන් මනාලියක් සොයාගැනීමට වෙහෙස මහන්සි වන තරුණයෙකි. ඉඩකඩම්, යානවාහන, වතුපිටි හිමි ඔහුට එකම අඩුව වූයේ බිරියක් පමණි. මවුපියන්ද ඒ පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූයේ පුතුගේ නිසි වයස එළඹී ඇති බැවිණි. සෑම සති අන්තයකම වාගේ තරුණ මනාල මහතා සිය මවුපියන්ද සමඟින් මඟුල් තුලා බැලීමටයයි.

ගැනිය නොහැකි මනාලියන් පිරිසක් බැලීමට ගියද ගැළපෙන යුවතිය සොයාගැනීමට නොහැකි වූයේ දේපළ තණ්හාව නිසාවෙනි. පසුගිය දිනෙක මනාල මහතා රූමත් කාන්තාවක් බැලීමට මවුපියන්ද කැටුව ගියහ. මනාල මහතා යුවතියගේ රූමත් බවට ද මනාලියගේ පාර්ශවය මනමාල මහතාගේ වත්කම් පිළිබඳවද සෑහීමට පත්විය.

දෙපාර්ශවයේම දැඩි කැමැත්ත කතාබහෙන්ම ප‍්‍රකාශ විය. සූදානම් කර තිබූ සංග‍්‍රහයද බුක්තිවිඳි මනාල පාර්ශවය පිටත්වීමට නිවෙසින් එළියට පැමිණියේ සතුටු සිතිනි. සිදුවූයේ නොසිතූ දෙයකි. මනාලයාගේ මව වාහනයට ගොඩවීමට ගොස් නැවත පැමිණ ‘‘ඉඩමේ මායිම තියෙන්නේ අර පේන කොස්ගහ ළඟ වෙන්න ඇති නේද?’’යි විමසද්දී සියලූ දෙනාටම කරකියා ගත දෙයක් නොවූහ.

මනාලියගේ පාර්ශවයේ වැඩිහිටියෝ ‘‘දේපළ තණ්හාවෙන් පසුවන මේවාගේ පවුලකට අපේ දුව දෙන්නේ නැහැ’’යි පවසා එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළහ. එනමුත් මනාලයා එම යුවතියගේ රූමත් බවට දැඩි කැමැත්තක් දැක්වූ බැවින් එම නිවෙසට තවත් කීපවතාවක් පැමිණ කථාබහ කළ ද ඉන් පලක් නොවීය. කොටපොල කේ. ප‍්‍රදීප් නිරෝෂන්.