”මත්පෙති ගත් තරුණයකු තමන් සුදු වෑන් රථයකින් පිරිසක් පැහැරගෙන යන්නේ යැයි’’ ජංගම දුරකතනයකින් තම මවුපියන්ට දැනුම් දුන් පුවතක් අවිස්සාවේල්ල පොලිසියෙන් වාර්තා වෙයි.
සිද්ධිය සැකවින් මෙසේය.
සිසුවා ඇහැළියගොඩ පදිංචිකරුවෙකි. ඔහු එම ප‍්‍රදේශයේ එක්තරා විදුහලක ඉගෙනුම ලබයි. පාසල හමාරවීමෙන් පසු සතියේ දිනවල පස්වරුවේ සහ සති අන්තයේ දිනවල අවිස්සාවේල්ල නගරයේ උපකාරක පන්තියකට පැමිණ ඉගෙනුම ලබයි. මෙදින උපකාරක පන්තියට ගිය ඔහු රැ බෝවන විටත් නිවසට පැමිණ නැත. කෙමෙන් කෙමෙන් කාලය ගතවී ඇත. රාති‍්‍ර 8.00ට පමණ විය. නිවසේ දුරකතනය නාද වෙමින් පවතී. හනික එම ස්ථානයට දුවගොස් මව රිසිවරය අතට ගැනීමේදී කියවුණේ මෙවැන්නකි.
‘‘අනේ අම්මේ මම සුදු වෑන් එකකින් පිරිසක් පැහැරගෙන යනවා බේරා ගන්න’’ අතරමග ඇමැතීම නතරවී තිබේ. බියට පත් මවුපියෝ වහාම ඥාතීන් සමග අවිස්සාවේල්ල පොලිසියට ගොස් පැමිණිලි කළහ. වහාම පොලිස් පරීක්‍ෂණ ඇරඹුණි.
මේ අවිස්සාවේල්ල පෞද්ගලික බස් නැවතුම් පොළයි. රාත‍්‍රිය බැවින් බස් රථවල අඩුවක් පැවැතී තිබිණි. බස් නැවතුම් පොළේ කානුවක් අසල අධික ලෙස මතින් පාසල් සිසුවෙකි. මොහු අන් අයෙක් නොව සුදු වෑන් රථයෙන් පැහැර ගෙන ගොස් ඇතැයි කියවෙන සිසුවා වේ. සිසුවා මත්පෙති පානය කර ඇතැයි පොලිසිය කියයි. මේවා අලෙවි කර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි. පොලිස් අත්අඩංගුවට ගත් සිසුවා අවිස්සාවේල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
සීතාවක කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්‍ෂ්මන් විජේසේකර, නියෝජ්‍ය පොලිස් අධිකාරි සරත් කුමාර මහත්වරුන් ගේ උපදෙස් මත අවිස්සාවේල්ල පොලිස් මූලස්ථානයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දුමුදු සේනානායක මහතා ඇතුළු පොලිස් පිරිස මේ සම්බන්ධව වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වයි.

