(තිහගොඩ – උපසේන ලියනගම)
එය ග්‍රාමීය ප්‍රදේශයකි. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් මැදිවියේ වූවකු තරමක විශාල මඤ්ඤොක්කා වගාවක් කළේ මේ දිනවල ඉන් ලබන ආදායම සරු නිසාය.

ඔහුගේ ලොකු අක්කාගේ පුතකු වූ තරුණ වියේ වූවකු ඉතා හිතුවක්කාරයකු වූ අතර අඩු වයසින්ම විවාහ වී දරු මල්ලන්ද ඇතිව හිටියත් ස්ථිර ආදායම් මාර්ගයක් නොවීය. ඒ නිසාම සුළු සුළු සොරකම්වලට ඔහු හුරුව තිබිණි. මේ ආකාරයේ සොරකමකට රාත්‍රී යාමේදී කකුලේ තුවාලයක් සෑදීමෙන් ඔහුගේ දකුණු කකුලේ මාපටැඟිල්ල මුළුමනින් කපා දැමීමට සිදුව තිබුණි.
මාමාගේ මඤ්ඤොක්කා වගාව පසුගියදා සොරකු විසින් ගලවාගෙන ගොස් තිබුණි. මේ ගැන බෑනා සැක කළත් ඔහු කීවේ මේක අපි කාටත් කරපු මහ නින්දාවක්. මාමා හොරා ගැන හෝඩුවාවක් ලැබුණොත් මට කියන්න. මම ඌව හමගහනවා කියාය.
පසුගියදා හේනට ගිය මාමාට හෝඩුවාවක් ලැබිණ. බෑනා කැඳවූ ඔහු මඤ්ඤොක්කා ගැලවූ තැන පස් ගොඩේ තිබුණු පා සලකුණක් බෑනාට පෙන්වීය. දකුණු කකුලේ සටහන මනාව එහිවූ අතර එහි මාපටැඟිලි සලකුණ පමණක් නොවීය. මෙය දුටු බෑනා අන්දමන්ද වුවත් මාමා ‘දැන් උඹම හමගහ ගනින්’ කියා බෑනාට කීවාලු.

