තඹුත්තේගම නගරයේ පසුගිය 29 දා පැවති විවාහ මංගල උත්සවයකදී මනමාල මහත්මියගේ හා මනමාල මහතාගේ පාර්ශවයන් අතර පැවති ගැටුමක් නතර කිරීමට පොලිස් නිලධාරීන් ගෙන්වීමට සිදුවූ පුවතක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තාවේ.
මෙහි මනමාල මහතා තිරප්පනේ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ අතර මනමාල මහත්මිය පහලගම ප‍්‍රදේශයේ පදිංචිකාරියක බවද පැවසේ. මෙම පාර්ශව දෙකේ බලාපොරොත්තු ඉටුකරමින් විවාහ මංගල උත්සවය මහත් ඉහළින් පැවැත්වීමට වැඩකටයුතු කෙරෙමින් පැවතිණි.
මංගල උත්සවයට දෙපාර්ශවයේම ඥාතීන් එක්කෙනා දෙන්නා පැමිණෙමින් සිටි අතර දිවා ආහාරය වන විට උත්සව ශාලාව පිරී ඉතිරී ගියේ දෙපාර්ශවයේ ඥාතීන්ගෙනි. මත්පැන් බෝතල්වල මූඩි ගැලවී විසිවිය. මනමාල මහතා යුද හමුදාවේ සේවය කරන්නෙකු හෙයින් යුදහමුදාවේ හිතමිතුරන්ද විශාල පිරිසක් පැමිණ ඇත. ටිකෙන් ටික මත්පැන් තොල ගෑ පිරිස් බෝතල් ගණන් හිස්කරන්නට විය.
ටික ටික මත්පැන් පානය වැඩිවෙද්දී වෙරිමතයද වැඩිවූ නිසා නර්තනයේ යෙදීමටද අවශ්‍ය විය. නර්තනයේ යෙදුණු මනමාල මහතාගේ පාර්ශවය හා මනමාල මහත්මියගේ පාර්ශවයේ හිතවතුන් අතර බහින්බස්වීමක් ඇතිවී එය ගුටිබැට හුවමාරුවක් බවට පත්වූ බව උත්සවයට පැමිණි පිරිස් පවසති. මෙම ගැටුමෙන් උත්සව ශාලාවේ පුටු 20ක්, පිඟන් හා වීදුරුද කැඞීගොස් ඇත.
මෙම කැඞීගිය උපකරණවල අලාභය ලබාගැනීමට නොහැකි වේයැයි බියෙන් හිමිකරු විසින් උත්සව ශාලාවේ දොරවල් හා ගේට්ටු වසා පොලිසිය ගෙන්වාගෙන ගැටුම නතර කළ බවද පැවසේ. අවසානයේ අමතර මුදලක් වැයකරමින් මනමාලියගේ ඥාතීන් විසින් අලාභය ගෙවා දැමූ බවද වාර්තාවේ.

