මඟ අතරමං වුනාම ගැලවුම්කාරයෙක් ඇවිදින්


(ගංගොඩවිල ජයන්ත සමරකෝන්)

දිනය ඉකුත් 31දාය. වේලාව රාත්‍රී 11.00ට ආසන්න වෙමින් තිබුණි. මා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියේ බිරිඳ ද සමගය.

බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ ඥාති සොහොයුරෙකුගේ නිවසක පැවති දානමය පින්කමකට සහභාගි වී අපි ආපසු නුගේගොඩ නිවසට එමින් සිටියෙමු. වාහනය එකෙනෙහිම ගම්මන්පිල පාලු ප්‍රදේශයක දී මහමග නතර වූයේ කාර්මික දෝෂයකිනි. නොසිතූ අයුරින් සිදුවූ එවැන්නෙන් අප දෙදෙනාට කරගත හැකි කිසිවක් නොවීය.

අඳුරු පාලු මාවතේ තනිවූ අප දෙදෙනා බිරන්තට්ටුව සිටියදී එකෙනෙහිම යතුරුපැදියකින් යමින් සිටි තරුණයකු වාහනය අසල නවතා කළ යුතු උපකාරය විමසා සිටියදී කුඩා දියණියක සිය යතුරුපැදියේ නංවාගෙන නිවස බලා යමින් සිටි තවත් පුද්ගලයකු ද අපෙන් කරුණු විමසනු ලැබීය. පසුව ඔවුන් දෙදෙනාගේ පිහිටෙන් වාහනය මාර්ගයේ අයිනට කර නවත්වා ගතිමි. දරුවා සමග පැමිණි පුද්ගලයා පිටත්වූ අතර, අනෙක් තරුණයා අපගේ සහායට සිටිමින් කළ යුතු දේ ගැන විමසිලිමත්වීම අපට අගනා අස්වැසිල්ලක් විය. ඔහුගේ සහයෙන් අප දානේ ගෙදරට ගොස් එහි සිටි කිහිපදෙනකු සමග නැවත පැමිණ වාහනය යථා තත්ත්වයට පත්කර ගතිමි. මෙහිදී නොහැඳුනුවද කිසිදු විස්තරයක් හෝ තොරතුරක් නොදත් වුවද, බණ්ඩාරගම්වාසී ඒ තරුණයාටත්, විමසූ පුද්ගලයාටත් අපට කළ උපකාරයට මේ සටහන උපහාරයක් ම වේවා!