මගුලක් කතා කරන්න ගිහින් රස්සාවත් නැති කරගෙන


මොරගොල්ලාගම - සිසිර කැලේගම
මනාලියක් බැලීමට කපු මහතා සමග ගිය මනාලයා කපුවා අතරමඟ දමා පලා ගිය පුවතක් නිකවැරටිය ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
මෙම නිවසේ මව්පිය යුවළ මෙන්ම වැඩිමල් පුත්‍රයා ද රාජ්‍ය සේවකයෙකි. 
වැඩිමල් පුතුගේ කලදවස ඉක්ම යන නිසා ඔහුට ගැළපෙන මනාලියක සෙවීමට මව්පිය දෙදෙනාට අවශ්‍ය විය.
කෙතරම් සොයා බැලු‍වත් කිසිවක් ගැළපෙන්නේ නැත. ඒ ඒවා බලන්න යාමටත් පෙර ඡායාරූප දැක හා එම පවුල්වල තොරතුරු ඇසීමෙන් එම පුත්‍රයා ඒ සියල්ලම “ලත් තැනම ලොප් කර” ඇති නිසාය.
මේ තත්ත්වය මත වැඩිහිටියන් පසු වූවේ දැඩි කනස්සල්ලෙනි. ඔය අතරේ පියා සේවය කරන රාජ්‍ය ආයතනයට නවක සේවකයෙක් කොන්ත්‍රාත් පදනමට සේවයට පැමිණියේය.
ඔහු සමඟ කුලු‍පග වූ ලොක්කා නවක සේවකයාටත් තම පුතුට මනාලියක් සොයන්නට යැයි ඇරියුම් කෙරුවේය.


“අයියෝ සර්, මම දන්න කෙනෙක් ඉන්නවා. ඉටි රූපයෙන් මැව්වා වාගේ ලස්සන ගුරුවරියක්. තවම බඳින්න සොයනවා. එයාටත් කපුකමක් කරන්න කියලා මට කියලා තියෙන්නේ.” හෙතෙම කීවේය.
නවක සේවකයාගේ වදන් ඇසූ ලොක්කාට ඉහේ මලක් පිපුණාක් මෙන් විය. ඔහු ඒ පිළිබඳව තම බිරියටත් කීවේය.
 සතුට ඉහ වහා ගිය ලොක්කා සේවකයා රැගෙන කඩයකටත් ගියේය. ඔහුට කන්න බොන්න දී එම බිලත් ලොක්කාම ගෙව්වේ එම සේවකයාට තව තවත් සමීප වීමටය. 
“මනාලයා එක්ක ඉස්සරලා ගිහින් ඒ ගැන බලමු. පුතා ඒකට කැමැති නම් කට්ටියම ආපසු යමු.” යැයි කපුවා ගෙනා යෝජනාවට ලොක්කා ද කැමැති විය.
වැඩේ කෙරුණොත් කපු ගාස්තුව දෙපැත්තෙන්ම ගැනීමේ අපේක්ෂාවෙන් කපුවා පසු විය.
ඒ අනුව දිනක් මනාලයා ඔහුගේ සඟයකු කැටුව මෝටර් රථයකින් පැමිණියේ රුවැති මනාලිය දැක ගැනීමට යාමටය.
ඔවුහු දුර කතර ගෙවා ඵම ගමට ළඟා වූහ. මනාලියගේ ගෙදර මිදුලේම රථය නතර කෙරුණි.
නිවසේ සිට ගැබිනියක් එබිකම් කර බැලු‍වාය.
කපුවා මෝටර් රථයෙන් බැස ලහි ලහියේ දිව ගොස් ඇය හමු විය.
“මිස් බැන්දා ද?”
“ඔව් අයියේ, මං බැන්දා. මේ දෙවැනි දරුවා තමයි හම්බ වෙන්න ඉන්නේ. වැඩිමල් දුව මොන්ටිසෝරි ගියා. එයත් දැන් එයි. එයාලා එනකම් එන්න ඇතුළට.” ඇයගේ ආරාධනයට කපුවා ගෙට යන අතරේ මිදුලේ නතර කර තිබුණු මෝටර් රථය පණගැන්වුණි. 
සිව් වසරකට පමණ පෙර කියූ ඇරියුමකට අනුව ඇවිත් ඇති කපුවාගේ කෙරුවාව තේරුම් ගත් මනාලයා හා සඟයා කපුවා එහි දමා පවනට බඳු වේගයෙන් නික්ම ගියහ.
වෙච්ච දේ ඔහු එම නිවැසියන්ට කීවේය. “දැන් මට යන එන මං නෑ. බසයෙන්වත් යන්න මට අතේ පිච්චියක්වත් නෑ.”
දන්නා හඳුනන නිසා නිවැසියන් දුන් බස් ගාස්තුව ගෙන කපුවා ඉර අවරට යන හෝරාවක වටරවුමකින් තම ගෙට ගොඩවුණු බවත්, එදා සිට මේ දක්වා වෙච්ච ලජ්ජාවට ආයතනයේ ලොක්කාගේ මුහුණ බලන්නට බැරිව ඔහු දැන් ආයතනයට යන්නෙත් නැතිලු‍.