(ගලගෙදර ජී.ජී.එම්. රත්නායක)
මඟුල කඩාකප්පල්වීම හේතුවෙන් කෝපයට පත් මනාලිය මඟුල්කපු මහත්මියට කපුගාස්තුව වශයෙන් දුන් රුපියල් දස දහසක මුදලක් තෑගි ලෙස දුන් සාරියත් ආපසු ඉල්ලාගත් පුවතක් ගලගෙදර ප‍්‍රදේශයෙන් වාර්තා විය.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
තරුණයෙක් මඟුල්කපු මහත්මියකගේ ආධාරයෙන් වෑඋඩ ප‍්‍රදේශයෙන් සිය අනාගත සහකාරිය තෝරාගෙන දෙපාර්ශවයේම වැඩිහිටියන්ගේ කැමැත්ත අනුව විවාහ ගිවිස ගෙන ඇත.
ඒ අනුව උසස් ලෙස මංගල උත්සවය පැවැත්වීමට දින නියමකරගෙන දෙපාර්ශවයේම නෑදෑහිත මිතුරන්ටද බුලත් දී ආරාධනා කළහ.
එහෙත් මංගල දිනයට පෙරදින කිසිවෙකුටත් නොදන්වා හොර රහසේම මනාලිය මනාලයාගේ නිවෙසට පැමිණියාය. වැඩිහිටියන් විසින් එය රහසක් සේ තබාගෙන යොදාගත් පරිදි පසු දින මංගල උත්සවය පවත්වා සියල්ලන්ගේම ආශිර්වාදය මැද්දේ මනාලිය කැන්දාගෙන පැමිණියහ.
එහෙත් නවයුවළ අතර ඇතිවූ විවිධ මත ගැටුම් හේතුවෙන් විවාහ දිවිය මාසයකට පමණක් සීමා වූයෙන් මනාලිය ආපසු මව්පියන් වෙත පැමිණියාය.
දින කීපයකට පසුව ඇය මව සමග කපු මහත්මියගේ නිවෙස සොයා ගොස් වංචාකරුවකු සොයා දුන්නේ යැයි ඇයට දොස් නගා ගෙවන ලද මුදලත් සාරියත් ආපසු ඉල්ලාගෙන ඇත.

