මගදී කන්න දුන් පාර්සලයේ කැවුම් කෙසෙල් සමඟ පපඩම්


(කරුවලගස්වැව - ජයරත්න වික‍්‍රමාරච්චි)
ඥාතියකුගේ නිවෙසක පැවැති උත්සවයකට සහභාගි වී ආපසු යන පිරිසකට අතරමගදී කෑමට කැවුම්, කෙසෙල් සමඟ පපඩම් ද අඩංගු පාර්සලයක් දී ඇත.
එය ලැබී ඇත්තේ පුත්තලම ආණමඩුව ප‍්‍රදේශයේ තම ඥාති නිවසේ පැවැති උත්සවයකට ආරාධනා ලැබ පැමිණ ආපසු සිය ගමට යමින් සිටි එකම පවුලේ මව, පියා, පුතා සහ දියණිය ඇතුළු සිවු දෙනකුටය.


ආරාධනාවට අනුව තමන්ට අයත් ත‍්‍රිරෝද රථයෙන් ආණමඩුවේ සිය ඥාතියාගේ නිවසට නියමිත දින පෙරවරු කාලයේම පැමිණි මෙම පිරිස තමන් ආ කාරණයට අදාළව සිය යුතුකම් ද මැනවින් ඉටු කර අනතුරුව දිවා භෝජන සංග‍්‍රහය ද භුක්ති විඳ ටික වේලාවකින් ආපසු යාමට සූදානම් වන අවස්ථාවේ දී නිවැසි කාන්තාවක විසින් ”මේක මගදි කෑමට” යැයි පවසා ත‍්‍රිරෝද රථයේ පිටුපස අසුන මත මෙම පාර්සලය තැබීය.


ඒ අනුව සිව් දෙනාගේ එකඟතාව මත අතරමග දී ලිහා බැලූ එම පාර්සලය තුළ කැවුම්, කෙසෙල් ඇතුළු කැවිලිවලට අමතරව බදින ලද පපඩම් කැබලි තොගයක් ද තිබී ඇත. මෙය අමතක වීමකින් සිදුවූවක් ද නොඑසේ නම් විහිළුවට කළ එකක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. නමුත් ඔවුන් පාර්සලයේ තිබූ පපඩම් ද ඉවත දමා නැත.