මංගල කේක් කෑල්ල මනාලයාම ගිලලා



පවිත්‍රා දේශානි



මංගල දිනයේ මංගල මොහොතේ කැපූ පළමු කේක් කෑල්ල මනාලියට නොකවා මනාලයාම කටේ ඔබා ගත් පුවතක් වැලිමඩට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබෙයි.
මනාලයා වයස 30 ඉක්මවූ මැදිවියේ තරුණ මහත්මයකි. ප්‍රේම සබඳතා කොතෙකුත් පැවතිය ද එක්කෝ පවුලට නොගැළපෙයි. නැතිනම් ඒවා තමන්ට නොගැළපෙයි. මවුපිය පාර්ශ්වය අවසානයේ තම පුතුට මනාලියක සෙවීමේ කාර්ය ගමේ ප්‍රසිද්ධ කපු නෝනා කෙනෙකුට පැවරීය. 
ඇය මනාල මහතාගේ ඡායාරූපයක්ද රැගෙන මනාලයාට හා මනාල මහතාගේ පවුලට ගැළපෙන තරුණියක සොයා ගැනීමේ භාරදූර කාර්ය භාර ගත්තාය.
මනාල මහතාගේ පවුල ගමේ ප්‍රසිද්ධ කුඹුරුපිටි හිමි පවුලකි. මනාල මහතාද කුඩා කල සිටම කුඹුරු ආශ්‍රිතව ගැවසෙන තැනකට ගොස් හැසිරීමට යම්තාක් තරමින් නොදත් අයෙකි. ඔහුගේ දුර්වලතා කපු නෝනා විසින් අවස්ථා කිහිපයකදී වසා ඇත. 
කෙසේ හෝ කපු නෝනා අසල ගම් කිහිපයකින් මනාලියන් සොයා ගිය අතර, අවසානයේ අල්ලපු ගමින්ම සුදුසු තරුණියක සොයා ගැනීමට ඇය සමත්වූවාය. මනාල පාර්ශ්වයත් මනාලියගේ පාර්ශ්වයත් වට කිහිපයක් හමුවී අවසානයේ විවාහයට සුදුසු දිනයක් යොදා ගැණින.
විවාහයට මනාල පාර්ශ්වයගේ පිරිසටත් මනාලියගේ පාර්ශ්වයේ පිරිසටත් ගමේ ඈයන්ටත් ආරාධනා කෙරිණ. උදෑසන සිට චාරිත්‍රවලින් මනාල මහත්මා වෙහෙස වී සිටියේය.  හරියාකරයේ ආහාරයක් හෝ නොලැබ සිට ඇත. කෙසේ හෝ මනමාල ජෝඩූව කේක් කපා සතුට සමරන අවස්ථාව එළෙඹ ඇත. දෙදෙනා එක් වී කේක් කැපූ සැණින් තම මනාලියට කේක් කවනවා වෙනුවට කේක් කැබැල්ලම තමන්ගේ කටේ ඔබාගෙන කෑමට මනමාල මහතා කටයුතු කර ඇත.
සිදු වූ දේ සිතා ගැනීමට නොහැකි වූ මනාලිය තම මව්පිය පාර්ශ්වය දෙස බලා ඇත. අසල සිටි පිරිසත් ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලා සිනා සී ඇත. කලබල වූ මනාල මහතාට සිදු වූ දේ වැටහූ විට සියල්ල සිදු වී අවසන්ය. කෙසේ හෝ ඔහු දකින විට එම සිදුවීම මතක් කර මොහොතක් සිනාසීම මේ ගමේ පිරිස කාලයක සිට සිදු කරයි.