භාෂාව බැරිවෙලා සුද්දන්ට අලූත් නැටුමක් පෙන්නලා


(බෙන්තොට ජේ. ඉඳුරුවගේ)

විදේශීය භාෂා දැනුම නැතත්, විදේශීය සංචාරකයනට මගපෙන්වන්නන් ලෙස කටයුතු කරමින් සංචාරකයන්ගෙන් කීයක් හෝ ලබා ගැනීමට පුරුදු වූ තරුණයෝ මෙරට සංචාරක පුරවරවල සිටිති.

එවැනි මගපෙන්වන්නකු විදේශීය සංචාරකයකුගේ ප‍්‍රශ්නයකට දුන් අපූරු හයිබි‍්‍රඩ් පිළිතුරක් ගැන දකුණේ සංචාරක පුරවර පෙදෙසකින් අසන්නට ලැබිණි.

මගපෙන්වන්නා සමග ප‍්‍රදේශයේ සිරි නරඹමින් ගමන් කරමින් සිටියේ ජර්මන් ජාතික යුවළකි. මාර්ගය අයිනේ සෙනඟ වටවී සිටි ස්ථානයක් දුටු විදේශිකයා ඔහුගේ භාෂාවෙන් හා අභිනයෙන් මග පෙන්වන්නාගෙන් සෙනඟ වටවී බලන්නේ මොනවා දැයි විමසීය.

මගපෙන්වන්නා වහාම එතනට කිට්ටු වී බැලූවිට එතන අහිකුණ්ඨික තරුණයකු නයෙකු හා රිළවකු නටවමින් සිටිනු දුටුවේය.

ඒ ගැන විදේශිකයාට කියන්නට ප‍්‍රමාණවත් විදේශ භාෂා දැනුමක් නොමැතිව සිටි මගපෙන්වන්නා, දිස් ඉස් නයාස් ඇන්ඞ් රිළාස් ඩාන්සින් යැයි උපායශීලීව පිළිතුරක් දුන්නේ අවට සිටි අය ද සිනහ ගන්වමිනි.

විදේශික යුවළද  ඕයස් යයි කියමින් එතනට ළං වී නයි හා රිළා නැටුම බලා නයි නටවන්නාට ද මුදලක් දමා මගපෙන්වන්නා සමග මාර්ගයේ ඉදිරියට ගියේය.

පසුව මගපෙන්වන්නාගේ මිතුරන් ඔහුගෙන් මචං  නයාස්, රිලාස් ඩාන්සින් බලමුද යයි ප‍්‍රශ්න කරන විට ඔහු දැන් තවත් අපූරු උත්තරයක් දෙනවාලූ.