බුලත් විටක් කාලා අලි අමාරුවක වැටිලා


මිතුරකු තම උපන් දිනයට මිතුරන් කිහිප දෙනකුට ආරාධනා කළේය. එය මධුවිත සපිරි සාදයක් විය. සවස්වනවිට මිතුරන් කිහිප දෙනෙක් පැමිණියේ වෑන් රථයකිනි. එය පැදවූ මිතුරා මත්පැන් පානය නොකරන්නෙකි. තවත් මිතුරෙක් පැමිණියේ වෙනත් නගරයක සිට තම යතුරු පැදියෙනි. සාදය ආරම්භ විය. මිතුරන් බොහෝ දෙනා මධුවිතින් සන්තර්පණය වුවත් යතුරු පැදියෙන් ආ මිතුරා මත්පැන් පානය කළේ පදමටය. 


හේතුව මග දිගට පොලිස් නිලධාරීන් සිටින බැවිනි. මධ්‍යම රාත‍්‍රිය පසුවනතුරු සාදය පැවැත්විණි. අවසානයේදී රාත‍්‍රි ආහාර ලබාගත් මිතුරන් නිවෙස් බලා පිටත්වූහ. යතුරු පැදියෙන් ආ මිතුරා සුළු වේලාවක් නිවැසියන් සමඟ පිළිසඳරේ යෙදී පසුව බුලත් විටක්ද සපමින් යතුරු පැදියේ නැඟී නිවෙස බලා එන්නට විය. ටික දුරක් පැමිණි විටදී ඔහුගේ හිස බ‍්‍රමණය වන්නට විය. රාත‍්‍රි භෝජන ශාලාවක් අසල යතුරු පැදිය නැවැත්වූ හෙතෙම භෝජන ශාලාවේ හිමිකරුට තම අසනීපය පැවසීය. ”සමහර විට බුලත් විට කෑවාම කැරකිල්ල හැදෙනවා” යැයි පැවසූ මුදලාලි ශීතකළ වතුර වීදුරුවක් බොන්නට දී ඇඳි පුටුවක හාන්සි කරවීය. පැයකට පසු පියවි සිහිය ලද තරුණයා, ”මුදලාලිට බොහොම ස්තූතියි.” පවසා යතුරු පැදියට ගොඩ විය.


”මහත්තයා බුලත් විටක් කාලා මත් වුණාම අයිස් වතුර ටිකක් බොන්න. නැත්නම් සීනි ටිකක් කන්න.”


මුදලාලි උපදෙසක් දීමටද අමතක කළේ නැත.