බුදුන් වැඳ පන්සලේ සිටි කුකුළු නාම්බෙක් ඉල්ලලා


(අකිල බද්දෙවිතාන)

අලුත්ගම ප්‍රදේශයේ විහාරස්ථානයකි. එම විහාරස්ථානයට විවිධ සතුන් ගෙනැවිත් දමන පිරිස් හේතුවෙන් මේ වනවිට කුකුළන්, බල්ලන් හා බළලුන් රැසකට විහාර භූමිය නවාතැන්පොළ බවට පත්වී තිබේ.

මෑතකදී විහාරස්ථානයට පැමිණි ගම්වැසියකු විහාරාධිපති හිමියන් බැහැ දැක වැඳ එකත්පසව ආගිය තොරතුරු කථා බහ කරමින් සිටියේය. හදිසියේම විහාර භූමියේ සිටි කුකුළන් කිහිප දෙනකු දුටු එම පුද්ගලගයා විහාරාධිපති හිමියන්ගෙන් කුකුළකු ඉල්ලා සිටියේය.

හාමුදුරුවනේ හොඳ නාම්බෙක් ඉන්නවා. මම ඒකා අරගෙන යන්නද. ඔහු එසේ විමසූ ආකාරයෙන්ම නායක හිමියෝ ඔහු එසේ කුකුළකු ඉල්ලන්නේ මස් කිරීම පිණිස බව වටහා ගත්හ. විහාරාධිපති හිමියෝ ඒ බව දැනගෙන නමුත් නිශ්ශබ්දව සිටියහ. ඒ අවස්ථාවේ දී කිසිවක් කරකියාගත නොහැකිවූ හිමියෝ සෙමෙන් ඔහු මගහැර වෙනත් පසෙකට වැඩම කළහ.

මස් පිණිස කුකුළන් ලබාදීමට උන්වහන්සේට හැකියාවක් නැති බව දැන දැනත් පන්සලට පැමිණ වන්දනාමාන කළ ගම්වැසියා නායක හිමියන්ගෙන් කුකුළන් ඉල්ලා සිටීම පන්සලේ දායකකාරකාදීන්ගේ ද ගැරහුමට ලක්වී තිබේ.