(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
වෙරිමර ගාතේ බයිට් කා අතපිස දැමීම සඳහා දරුවන්ගේ උප්පැන්න සහතික භාවිත කළ පියෙකු පිළිබඳව පුවතක් මොරගොල්ලාගම හා ගල්නෑව අතර පිහිටි ගම්බඳ පෙදෙසකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.

දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක දරුවන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත් ගෙන ඒම සඳහා බිරිඳගේ ඇරයුමකට අනුව සැමියා ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පසුගියදා ගොස් ඇත. ඒවා රැගෙන නිවසට එන අතරවාරයේදී හිතවතෙකු ගල්නෑව නගරයේදී ඔහුට හමුවිය.
ආ ගිය තොරතුරු කතා කළ දෙදෙනා පොඩි අඩියක් ගසන්නට එහිදී තීරණය කළේය.
වැඩි වේලාවක් යන්නට මත්තෙන් දෙදෙනාම පදමට වෙරි විය.
කනබොන නමුත් අතපිස ගැනීමට කොළ කැබැල්ලක් සොයා ගැනීමට නොහැකිව දෙදෙනාම එහිදී දැඩි අපහසුතාවකට පත්වු අතර තමාගේ යතුරුපැදියේ බෑගයේ පත්තර තිබෙන බව සගයා අනෙකාට පැවසීය.
ඒ අනුව ඔහු වහා එහි ගොස් බෑගයට අත දමා කොළ කැබැලි කිහිපයක් ඉරා දමා අත පිස ගැනීමෙන් අනතුරුව ඔහු යතුරු පැදි හිමිකරුවාට ද එහි කොළ කැබලි ගෙනැවිත් දුන්නේය.
කිසිදු පැකිලීමකින් තොරව ඔහුද ඉන් අත පිසදමා ඒ කැබලි විසිකර වෙරිමත ගාතේම සගයාට සමුදී ගෙදර යාමට තම යතුරුපැදියට ගොඩ වී ඇත.
නිවසට ඔහු ආ විගස බිරිඳ තම දරුවන් ද කැටුව ගොස් බෑගයේ තිබූ අලුත ගෙනා උප්පැන්න පරීක්ෂා කිරීමේදී එක් උප්පැන්නයක කෑලි හා අනෙක් උප්පැන්න දෙකේද අත්වල තිබූ ජාරාව තැවරී ඒවාද විනාශ වී තිබෙන අයුරු දැය පුදුමයට පත්ව ඒ ගැන විපරම් කිරීමේදී තම සඟයා බෑගයේ තිබූ පත්තර කියා ඉරා ඇත්තේ අලුත ගෙනා උප්පැන්න සහතිකයක් බව සිහි වී තරු පෙනී ඇත.

