බීලා එළවළු ගන්න ගිහිල්ලා ජංජාලයක්


(මාවතගම කාන්චන මාලා බණ්ඩාර)
පුද්ගලයකු පදමට සූර්වී පොළේ එළවළු මිලදී ගැනීමට ගොස් සිහිමද ගතියෙන් තැන් තැන්වලින් වම්බටුම කිලෝ 10 ක් පමණ මිලට ගෙන ගෙදරයාම නිසා කෝපයට පත් බිරිය පසුදා ඔහු කාර්යාලයට ගෙනයන බත්මුලට වම්බටු ක‍්‍රම 4 කට පිසදීමේ හාස්‍යජනක සිදුවීමක් කුරුණෑගල නගරයේ කාර්යාලයකින් වාර්තාවිය.


එදා ඉරිදා දිනයකි. යහළුවන් සමග පදමට සූර්වී සිටි ඔහු පොළට ගියේය. වම්බටු කෑමට ප‍්‍රිය කළ මෙම පුද්ගලයා පොළේ තැන තැන ඇවිද වම්බටුම මිලට ගත්තේ කලින් මිලට ගත්තේද වම් බටුම බව අමතක වීමත් නිසාය.


සිහි මද ගතියෙන් සිටි ඔහුට පොළේ ඇති අනෙක් එළවළු පරයා බටුම පෙනුණි. ඒ නිසාම ඔහු කීප වතාවක්ම බටුම මිලදී ගත්තේය. නිවෙසට ගිය ඔහු බිරිදට එළවළු සහිත බෑගය දී අඩ සිහියෙන්ම නින්දට ගියේය.


බිරිය පසුදා පාන්දර තම සැමියා අවදිවීමට පෙරම අවදි වී එළවළුමල්ල දැක කෝපවූයේ බටු පමණක්ම කිලෝ 10 ක් පමණ ඇති අයුරු දැකීමෙනි. ‘‘කරන්නම්කෝ හොඳ වැඩක්’’ යැයි නිහඬවම සිතාගත් ඇය පසුදා කාර්යාලයට ගෙනයාම සඳහා බත්මුලක්ද සැමියාට පිරිනැමුවාය. 


පසුදා කාර්යාලයේ මිතුරන් හා දිවා කාලයේ කෑම මේසයට වාඩි වූ ඔහු බත්මුල ලෙහීය. ඒ දැක ඔහු අන්දමන්ද වූයේය. යහළුවන්ද ඒ දෙසට එබී බැලූවේ ඔහුගේ මුහුණ කෝපයෙන් රතු වූ නිසාමය. ක‍්‍රම 4 කට පිසූ බටුම එහි විය.


”මොකද බං උඹ ඊයේ පොළෙන් වම්බටු විතරමද අරං ගියේ.” යහළුවන්ගේ කතාවලට ඔහුට උත්තර නැති විය.


ප‍්‍රශ්නයක් නෑ බටුම කමු. කළ හැකි කිසිත් නොවූ නිසා ඔහු නිහඬවම කෑම කෑවේය.