(මොරගොල්ලාගම සිසිර කැලේගම)
රෝහල් ගතකළ තැනැත්තකු බලන්නට නිත්‍යානුකූල බිරිඳ හා අනියම් බිරිද ගොස් ඔවුන් දෙදෙනා වාට්ටුවේ කෙස්වලු පටලා ගන්නා අවස්ථාවේදී රෝගියා රෝහලෙන් පැනයාමේ පුවතක් පොල්පිතිගම මූලික රෝහලෙන් වාර්තා වේ.

සිද්ධිය අනාවරණය වෙන ආකාරයට මෙසේය.
රෝගියා විවාහක දරු දෙදෙනෙකුගේ පියකු වේ. තම බිරිඳ රෝගී තත්ත්වයකින් පසුවන නිසා ඔහු තවත් කතක් සමග අනියම් ඇසුරක් පවත්වයි. ඔහු එසේ ඇසුර පවත්වන්නේද සැමියා හැර ගොස් සිටින විවාහක දෙදරු මවක් සමග බවත් මේ සම්බන්ධතාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ රහසක් නොවන බවත් ප්‍රදේශවාසීහු පවසති.
දිනක් එම තැනැත්තාගේ නීත්‍යානුකූල බිරිඳ ඇයගේ විවාහක දුවගේ නිවසට ගිය අතරවාරයේ එදින රාත්‍රියේ තනි වූ ඔහු අනියම් බිරිඳගේ නිවසේ රාත්‍රිය ගත කරන්නට ගිය අවස්ථාවේදී ඔහු රෝගී තත්ත්වයකට පත්ව තිබේ.
දන්නා හඳුනන ත්‍රිරෝද රථ රියදුරන්ට ඔහු රෝහල් ගත කරන ලෙස නිවෙස් හිමි කත දැනුම් දී ඇතත් කිසිවෙකුත් නොපැමිණි තැන තමා සතු යතුරු පැදියක රෝගියා වාඩි කරවා ඇය යතුරු පැදිය පදවාගෙන ගොස් මැදියම් රාත්‍රියේදී රෝගියා පොල්පිතිගම මූලික රෝහලට ඇතුලත් කොට තිබේ.
පසුදින රෝගියාගේ මව තම පුතා රෝහල් ගත කළ පුවත දැනගෙන ඔහු බලන්නට උදේම රෝහලට ගොස් ඇත.
එහිදී දවල්ට තමා බලන්නට රෝහල් ගත කරන ලද අනියම් බිරිඳ කෑම සපයාගෙන එන බැවින් පවුලේ උදවිය පැමිණීමෙන් වලකින ලෙසට රෝගියා අම්මාගෙන් ඉල්ලීම් කර තිබේ.
එයට අම්මා අවනත වී ඇතත්, රෝහලෙන් පිටතට ගිය විගස පිටස්තර පදිංචි තම මිණිපිරියගේ නිවසේ රැඳී සිටින එම පුතාගේ නිත්‍යණුකූල බිරිඳට සියල්ල පැවසීමට ලහි ලහියේ කටයුතු කර ඇත.
ඒ අනුව දවල් රෝගීන් බලන්නට එන වෙලාවටත් මත්තෙන් එම අම්මා, පුතාගේ නිත්‍යණුකූල බිරිඳ හා එම මිණිපිරියද කැටුව රෝහලට පැමිණ අනියම් බිරිඳ එන තුරා ඒ අවට සැඟවී සිට තිබේ.
කෙසේ හෝ අනියම් කත දිවා ආහාරයද රැගෙන වාට්ටුවට පිවිස රෝගියාගේ ඇඳ ළඟට යනවාත් සමගම සැඟවී සිටි එම අම්මා රෝගියාගේ සැබෑ බිරිඳ හා ඇයගේ විවාහක දියණියත් කැටුව අනියම් කත සමග අඩ දබරවී වාට්ටුව කාල ගෝට්ටියක් බවට පත්වෙන අතරවාරයේ එය බේරීමට වෛද්‍යවරුන්ට හා හෙද කාර්යය මණ්ඩලයට එහි රෝහල් ආරක්ෂක අංශය කැඳවීමට සිදු වී තිබේ.
කෙසේ වෙතත් ඔවුන් එක්ව කණ්ඩායම් දෙපසටකොට ඇතත් රෝගියා ඇඳේ නොසිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
පැමිණි අනියම් කත රෝගියාගේ වියපත් මවටත්, ඔහුගේ නිත්‍යාණුකූල රෝගී බිරිඳටත් ඇයගේ දියණියටත් පහරදී ඇති බවටත්, ඔවුනට පහර දෙන අයුරු දෙස බලා සිටින්නට නොහැකි තැන රෝගියා නේවාසිකව ප්‍රතිකාර ගැනීම පසෙක දමා පිටුපස දොරෙන් පලාගොස් තම නිවසට ගොස් ඇති බවටත් තොරතුරු අනාවරණය වුණි.

