(තලාතුඔය ටී.එච්. සරත් )
තම බිරියගේ යතුරුපැදිය යයි සිතා වෙනත් කාන්තාවකට අයත් යතුරු පැදියක් පණ ගැන්වීමට තැත් කොට එය අසාර්ථක වීම නිසා එහි යතුරු ස්වීචය කඩා දැමූ පුද්ගලයකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා විය.
තම අවශ්‍යතාවක් සඳහා කාන්තාවක් තලාතුඔය නගරයට පැමිණ යතුරුපැදිය මාර්ග යේ පසෙක නවතා ඇත්තේ එම ස්ථානයේ තවත් යතුරුපැදි කිහිපයක් ද නවතා තිබීම නිසාය. අනතුරුව එම ස්ථානයට පැමිණි පුද්ගලයකු තමා පැමිණි යතුරුපැදිය යයි සිතා එකී කාන්තාවට අයත් යතුරුපැදිය පණ ගැන්වීමට යතුර ස්වීචයට දමා කරකවා ඇතත් එය පණ ගැන්වී නැත. කිහිප වාරයක් උත්සාහ කළ ද යතුරුපැදිය පණ ගැන්වීමට නොහැකිවීම නිසා අසල වූ කම්මලකට ගෙනගොස් යතුරු ස්වීචය කඩා තිබේ. මේ අතරවාරයේ තම කාර්ය නිමවා කාන්තාව පැමිණ තම යතුරුපැදිය නැවතූ ස්ථානයේ නොමැති බැවින් පොලිසියට දිවගොස් යතුරුපැදිය කිසියම් කෙනෙකු සොරාගෙන ගොස් ඇතැයි කියා සිටීමත් සමග වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් යතුරුපැදිය සොයා නගරය පරීක්ෂා කිරීමේ දී ස්වීචය කඩා යතුරුපැදිය ගෙන එන පුද්ගලයා හමුවී තිබේ.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී යතුරු ස්වීචයේ දෝෂයක් නිසා එය පණ ගැන්වෙන්නේ නැති බවත් එනිසා එය කඩා දමා යතුරුපැදිය පණගන්වා ගත් බව ප්‍රකාශ කර තිබේ. යතුරුපැදිය කාගේ දැයි ප්‍රශ්න කළ විට එය තම බිරියගේ බවත් කියා ඇත. අනතුරුව බිරියගේ යතුරුපැදිය යැයි සිතා එහි හිමිකාරිය ඉදිරිපත් වූ විට තමා වෙනත් යතුරුපැදියකට යතුර දමා පණ ගැන්වීමට උත්සාහ කර ඇති බව ඔහුට වැටහී තිබේ. තම බිරියගේ යතුරුපැදිය යැයි සිතා තමා අතින් වරදක් වූ බව පිළිගත් එම පුද්ගලයා යතුරුපැදියේ ස්වීචය කඩා දැමීම සම්බන්ධයෙන් සමාව අයැද අලුතෙන් ස්වීචයක් සවිකර දෙන බවට පොරොන්දු වී තිබේ.

