බිරියගේ කන්දොස් කිරියාවට සැමියාගෙන් අපූරු උත්තරයක්


කුලී නිවසක අලූතින්ම පදිංචියට යෑම සඳහා සැමියා සහ බිරිය දිනයක් සොයා ගත්හ. බිරිය පැවැසුවේ මුලින් පදිංචියට යන දවසේ ගේ මැද කිරි ඉතිරවිය යුතු බවය. ඒ අනුව අදාළ දිනයේ බිරිය එම නිවසට යැවීමට කටයුතු කළ සැමියා වෙළෙඳසලකට ගොස් අලූත් මුට්ටියක් සහ කිරි බෝතලයක් ද මිලදී ගෙන නව නිවසට පැමිණියේය. හිස් මුට්ටිය නිවසට රැගෙන එනු දුටු බිරිය කෝපයට පත්ව ”බලනවාකෝ මූසල වැඩක් නේ කෙරුවේ. කිරි උතුරවන්නට ඉස්සරවෙලා හිස් මුට්ටියක් ගේ ඇතුළට ගේන්න ඔහේට මොළේ නැද්ද? ඔය බෝතලේ තිබෙන කිරි මුට්ටියට දාලා අරන් එන්න නේ තිබුණේ” යැයි මොර දෙන්නට වූවාය. ”හරි හරි  ඕවා ඔච්චර ගණන් ගන්න එපා” සැහැල්ලූවෙන් පැවසූ සැමියා නිවසේ මැද ගල් තුනක් තබා ඒ මත මුට්ටිය තබා කිරි දමා ගිනි ඇවිලවීය. කිරි උතුරන්නට පෙර මුට්ටිය බිඳී කිරි සියල්ල ළිපට වැටී ළිප ද නිවී ගියේය. ”බලනවා හිස් මුට්ටිය ගේ ඇතුළින් ගෙනා එකේ විපාකේ” යැයි බිරිය බෙරිහන් දෙන්නට වූවාය. ”කලබල වෙන්න එපා නෝනේ. දැන් ඇමරිකන්කාරයා හඳටත් ගිහිල්ලා අඟහරු ලෝකෙටත් කුරුමානම් අල්ලන කාලේ. ඔය වගේ හණමිටි අදහස් තියාගන්න එපා” යැයි සැමියා පැවසීය. කෙසේ හෝ දැන් ඔවුන්ට ඉඳහිට ප‍්‍රශ්නයක් ඇති වූවත් සතුටින් ජීවත් වන බව ”කොටහේන” ප‍්‍රදේශයෙන් වාර්තාවේ.