පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
දේවාරූඪයෙන් පේන කියන සැමියාගේ හොර ඇල්ලීමට වෙස් මාරු කරගෙන පැමිණි බිරිඳට ආලවන්තකම් පා ඔහුගේ දුරකතන අංකය ලබා දුන් කපුවෙකු හට බිරිඳගෙන් කම්මුල් පාරක් ලැබුණු පුවතක් උඩරට ප්‍රදේශයෙන් වාර්තා වේ.
මීට වසර කිහිපයකට පෙර දෙවියන් ආරූඪ වී යැයි පවසමින් දේවාරූඪයෙන් පේන කියන දේවාලයක් ආරම්භ කළ හතළිස් දෙහැවිරිදි දෙදරු පියකුගෙන් පේන ඇසීමට විවිධ ප්‍රදේශවලින් දිනපතා සැලකිය යුතු පිරිසක් පැමිණීම නිසා දේවාලයේ කපු මහතාගේ අතමිට සරුවිය.
දෙවියන්ගේ පිහිට ලබා ගැනීම සඳහා පැමිණෙන ඇතැම් කාන්තාවන්ගේ සැමියන් ගැන බොරු වැරැදි මවා පාමින් එම කාන්තාවන් සමඟ අනවශ්‍ය සම්බන්ධතා පවත්වාගෙන යන බව විවිධ අය හරහා බිරිඳට දැන ගැනීමට ලැබිණි. දේවාලය ආරම්භ කිරීමෙන් පසු තම ආර්ථික තත්ත්වය සරු වූ බැවින් බිරිඳ මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත.
නමුත් මෑතක සිට දේවාලයේ ආදායමෙන් විශාල මුදලක් කපුවා සමඟ හිතවත් කාන්තාවන්ට වැය කරන බවට දේවාලයේ අත්උදව්වට සිටින අයගෙන් අසා දැනගත් බිරිඳ තම සැමියාගේ හොරකම් අතටම අල්ලා ගැනීමේ අදහසින් තම හැඩරුව වෙනස් කරගෙන බටහිර පන්නයට ඇඳ පැළඳගෙන දේවාලයට ගියේ උපැස් යුවළක්ද පැළඳගෙනය.
පේන ඇසීමට පැමිණි අනෙකුත් අය මෙන් පෝලිමට ගොස් තම වාරය එන තෙක් රැඳී සිටි බිරිඳට පේන ඇසීමේ අවස්ථාව උදා වුණි. දේවාලය ඇතුළේ සිට ආවේස වී පේන කියන කපුවා බටහිර පන්නයට ඇඳ පැළඳ තමා ඉදිරියේ සිටින කාන්තාව අමතා ඇගේ සැමියා විවිධ කාන්තා ඇසුරුකම් ඇති බවත් එම සම්බන්ධතා තමාට නවතා දැමිය හැකි බවත් පැවසීය. ඒ සඳහා විශේෂ පූජාවක් පැවැත්වීමට මේ දේවල් රැගෙන එන ලෙස පවසා කොළ කෑබැල්ලක් පේන ඇසීමට පැමිණි කාන්තාව අත තැබීය.
එය දිග හැර බැලූ විට එහි ඇත්තේ කපුවාගේ දුරකථන අංකය පමණි. එය දැකීමෙන් කෝපයට පත් බිරිඳ කපුවාගේ කම්මුලට පහරක් ගසා මම ආවේ උඹලාගේ හොර අල්ලා ගැනීමට යැයි පැවසීමත් සමඟ දේවාලයට පැමිණ සිටි පිරිස ඉන් ඉවත්ව ගියේ සිදුවූ කිසිවක් අදහාගත නොහැකිවය.