බිරියගේ අනියම් පෙමට සැමියාගෙන් ටයර් කොක්කක්


අනියම් සම්බන්ධය නතර කිරීමට බැරි තැන අනියම් පෙම්වතාගේ සහෝදරයාට අයත්  යතුරු පැදියක ටයර් කපා සැඟවූ පුවතක් තලාව නගරයට ආසන්න ගම්මානයකින් වාර්තා වේ.
පාසල් කාලයේ පැවැති පෙම් පලහිලව්වක් මල්පල ගැන්වී ‍තරුණ යුවළක් මවුපිය ආශිර්වාදය මැද දැනට වසර ගණනාවකට පෙර විවාහ වී තිබේ.
කාලය ගතවෙද්දි  දරුවන් දෙදෙනෙකුගේ මවුපියන් වූ මොවුන්ට අග හිඟකම් වැඩිවන්නට විය.


බිරිය තීරණය කොට ඇත්තේ ආර්ථික අහේනියෙන් ගොඩඑන්නට විදේශගතවීමටය. එයට අවසර දුන් සැමියා තම දරුවන් දෙදෙනාද  හදාවඩාගෙන බිරිඳ එවූ මුදල් අරපරිස්සමින් වියපැහැදම් කළේය.
කාලය ගතවූ පසු බිරිය මේ රටට පැමිණි අතර ඇය ප්‍රදේශයේම පදිංචි තරුණයකු සමග අනියම් සම්බන්ධයක් පටන්ගෙන  ගොස් ඇති අතර එය නතර කිරීමට  බැරි තත්වයකටම පත්විය.
දිගින් දිගටම  මෙම අනියම්  සම්බන්ධය නතර කිරීමට  සැමියා බිරිඳට  අවවාද දුන්නද පලක් නොවූ අතර අවසානයේ  ‍දෙදෙනා විරසක වී බිරිඳ ඇගේ මවුපියන්ගේ නිවසට ගොස් තිබේ.
අනියම් සැමියා සොයාගෙන ඔහුගේ නිවසට ගියද කිසිවකු නිවසේ නොසිටි නිසා  ඔහුගේ වැඩිමල් සොහොයුරාට අයත්  මදුරුවා වර්ගයේ යතුරු පැදිය රැගෙන ගොස් එහි ටයර් කපා  බිරිඳගේ නිවස පිටුපස කැලෑවක සඟවා තිබියදී තලාව පොලීසිය විසින් සොයාගෙන තිබිණි.


අනියම් සැමියාගෙන් ගැනීමට නොහැකි වූ පලිය යතුරු පැදියෙන් ගත් බව සැකකරු පොලිසියට පවසා තිබේ. තලාව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. අරුණ සම්පත් මහතා ප්‍රමුඛ නිලධාරින් මෙම යතුරු පැදිය සොයාගෙන තිබිණි.

රාජාංගණය නුවන් කුමාර