බිරිඳ ලවා සේවකයාට පාඩමක් උගන්වන්න ගිය රූමතියට කුඩ පූජාවක්


බිරිඳ ලවා කාර්යාල අයකැමිට ඉගැන්වීමට ගිය සේවිකාවකට ඇයගෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදු වූ අපුරු කතාවක් දකුණු පළාතේ කාර්යාලයකින් අසන්නට ලැබේ.


  ඔහු කාර්යාලයේ අයකැමිය. නිල කාමරයක් තිබුණේ ආරක්ෂාකාරීව ගනුදෙනු කිරීමටය. ගැහැනු පරාණවලට ඇළුම් කළ අයෙක් ද විය. ඒ නිසාම කාර්යාලයේ සේවිකාවන්ට ඇණයක් වූ අවස්ථා නැත්තේ ද නොවේ.


 සේවිකාවන්ට අනවශ්‍ය විහිළු තහළු කොට ඇස් රතු කරගත් අවස්ථා ද ඇති තරම්ය. ඒ එකකින්වත් ඔහු පාඩමක් ඉගෙන නොගත්තේය.
 වෙනදා  ඔහුගේ භාර්යාව අවශ්‍යතා සඳහා නගරයට යාම් ඊම් කළේ මගී ප්‍රවාහන බස් රථයෙනි. පවතින ඉන්ධන අර්බුදය හමුවේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය නොකරන නිසා නගරයට එන ඇය සිය සැමියාගේ යතුරු පැදියෙන් නිවසට යාමට කාර්යාලයට ඒමට පුරුදුව සිටියාය.


එදා  ඇය නගරයේ  ගැවසෙනු දුටු සේවිකාවෝ පිරිසක් ඔහුට හොඳ සෙල්ලමක් දෙමු යයි කතිකා කර ගත්හ. ඒ අනුව රැලේ සිටි රූමත්ම කාන්තාව ඔහුගේ භාර්යාව ඔහු සිටින කාමරයට එනතෙක් රැක සිට ඊට කලින් එම කාමරයට රිංගා ඔහු ළඟට කිට්ටු වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියාය. කිසිත් නොදත් ඔහු මේ රූමතිය සමග කතා බහ කළේ දැඩි ආශාවකිනි. උනන්දුවකිනි.


 මේ රූමතිය ඔහුගේ ඇඟට තට්ටු දමමින් කතාකරනවත් සමග ඔහුගේ භාර්යාව එතනට කඩා පාත්වූවාය. මේ දර්ශනයෙන් ඇයට ආරූඪයක් වැසුනාක් මෙන් වූවාය. ඒ දෙස හොරෙන් බලා සිටි ඇත්තන් සිතුවේ භාර්යාව පැනපු ගමන්ම සැමියාට කුඩය කැඩෙන තෙක්ම පහර දී තමන්ට විනෝදයක් ලබා ගැනීමට හැකි වෙතැයි සිතාය.


එහෙත් සිදුවූයේ අනෙකකි. භාර්යාව රූමතියට කුඩය කැඩෙන තෙක්ම පහර දුන්නේ බැදපු මිනිහෙකුටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැතිරියක් කියමිනි. කාමරයෙන් දුවන තෙක්ම රූමතියට ඇය පහර දුන්නේ සැඟවී ඒ දෙස බලා සිටි අය ද හොල්මන් කරමින් කාර්යාල අවසන් කාලය ද හොඳටම රත් කරමින්ලු‍.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත