කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
දහවල් බත් පතට තම්බපු බිත්තරයක් නොදැම්මැයි උරණ වූ පුතකුට කකුලක් අහිමි වීමේ සිද්ධියක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ.
ඔහු තරුණ වියේ එළිපත්තට පැමිණ සිටි ඉලංදාරියෙකි. මේ අම්මා ඔහු රැක බලා ගත්තේ ඇහැක් මෙනි. තාත්තා නැති ඔහුට තාත්තාටත් අම්මාටත් දෙදෙනාටම සිටියේ ඇය පමණි. තමාට ලබාදිය හැකි සෑම සැපතක්ම මේ අම්මා ලබාදුන්නේ ඔහුට ඇති ආදරය නිසාමය. මේ සෑම දෙයක්ම කළේ ඇය කුලී වැඩ කරමින් උපයා සපයා ගත් දෙයිනි. ඇතැම් දවස්වලට කුලියක් මලියක් කළේ අව්කාෂඨකයේ කුරුඳු වතු උදළුගාමිනි. නිවෙස්වල බැලමෙහෙවර කරපු අවස්ථා නැත්තේ ද නොවේ.
අම්මා මෙසේ ජීවත් කරවූ මෙම ඉලන්දාරියා ගියේ වැරදි පාරේය. ඇසුරු කළේ වැරදි මිතුරන්ය. කළ තරමක් කළේ වැරදි වැඩය. කොටින්ම කියතොත් එකා යකා වුණේය. ඒ කතාව හරියටම හරි ගියේ ඔහු කුඩුවලට ඇබ්බැහිවීමත් සමගමය.
ඔහු වෙනුවෙන්ම කැඹුරූ මේ අම්මාගේ ඇට, මස් ලේ නහර දිරාපත්වී ගියේ වයසටත් යන්නත් කලින්ය. වයසටත් කලින් ඇය වයසට ගියාය. නොමග ගිය කොලුවා හරි මගට ගැනීමට මේ මව ගත් උත්සාහය දන්නේ ඇයත් උඩ ඉන්න දෙවියනුත් පමණි. ඒ තරමටම ඇය ඔහු වෙනුවෙන් දිවිහිමියෙන්ම කැපවුණාය.
ජීවිතය ගැට ගහ ගන්නට පනම් හතරක් නොසොයා කුඩු ගසා නිවසට එන ඔහුට අඩුපාඩු නැතිව බත් පත තිබිය යුතුමය. එසේ නොවුන හොත් එදාට මේ මවට ඔහුගෙන් විසුමක් නොවන්නේය. මේ අම්මා එවැනි දවස්වලට ඔහු මග හැර ගියාය.
එදා ඔහුගේ බත් පතට තම්බපු බිත්තරයක් නැතැයි කියමින් මුළු නිවසම දෙවනත් වන සේ කෑමොර දුන්නේය. හදිසියේ ලෙඩ වී කුලියක් මලියක් කර ගැනීමට නොහැකිවූ නිසා බිත්තරයක් තම්බා දීමට ඇය අපොහොසත්ව සිටියාය. ඔහුගේ කෑකෝ ගැසීම් හමුවේ වුවද වෙනදා මෙන් ඔහු මග හැර යාමට නොහැකිවූයේ පැවැති අසනීප තත්ත්වය නිසාමය.
ඉලංදාරි පුත්‍රයා බත් පතත් පොළවේ ගසා මහලු මවට දකුණු පා පහරක් එල්ල කරමින් දිව ගියේය. ඔහුට නිවසේ සිට වැඩිදුරක් දුවන්නට නොලැබුණේය. කුඩු මතින් ඉබා ගාතේ දිවගිය ඔහුගේ පා දුම්රිය මාර්ගයේ පැටලී වැටුණේ ගමන් ගනිමින් සිටි දුම්රියකට දකුණු පාදය අඩයක් වෙමිනි. අම්මාට ගැසූ දකුණු පාදය රෝහලේ දී කපා දැමීමට සිදුවූයේ දෛවයේ සරදමට මෙනි.