බිංදුවක් වැඩිවෙලා පාට් එකකුත් දාලා


සබරගමුව පළාතේ පදිංචි ඔහු ඉතාම අවංකව හා කාර්යක්ෂමව සේවය කොට විශ‍්‍රාම ලද මාණ්ඩලික නිලධාරියෙකි. පසුගියදා නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ගියේ රුපියල් දෙදහස් පනහක් ගෙන ව්‍යාපාරික ආයතනයක පැරණි ණයක් ගෙවීමටය.

බැංකු කුවිතාන්සිය හා ගිණුම් පොත දුන්විට බැංකු නිලධාරිනිය අදාළ මුදල පොත ඇතුළේ දමා ඔහුට දුන්නාය. එය රැුගෙන ව්‍යාපාරික ස්ථානයට ගිය ඔහුට තරු පෙනුණේ පොත තුළ රුපියල් විසි දහස් පන්සීයයක් තිබූ හෙයිනි.

ආපහු බැංකුවට ගිය ඔහු නිලධාරිනියට කීවේ ගෙවා ඇති මුදල වැරදි බවය. ”දැන් කිව්වට වැඩක් නෑ අංකල්. හොඳට ගැනල බලල ගෙනියන්න තිබුණෙ. දැන් කොහොමද මං ඕක විශ්වාස කරන්නෙ” ඇය කීවේ තරමක් සැරෙනි.

”නෑ මිස් මම ඉල්ලපු රුපියල් දෙදාස් පනහ වෙනුවට මට විසිදාස් පන්සීයක් ගෙවලා. අගට බිංදුවක් වැඩිවෙලා. පන්සීයෙ කොළ හතරට පන්දාහෙ කොළ හතරක් දාලා” කීවේ සිනාසෙමිනි. ”අනේ සමාවෙන්න.” කී ඇය ගනුදෙනුව හරියට කළේ ලජ්ජාවෙන් ඇඹරෙමින්ලූ.