බැඳලා මාස හයෙන් නඩත්තුව බැරිව බිරිඳ මහ ගෙදර යවලා


ඔහු නැගෙනහිර පළාතේ සිංහල ගම්මානයක පදිංචි 21 හැවිරිදි  මැලේ තරුණයෙකි. ඇය නුදුරු ගම්මානයක පදිංචි 18 හැවිරිදි පියකරු සිංහල තරුණියකි. දෙදෙනා අතර හටගත්  ප්‍රේම සම්බන්ධයක් දුරදිග යාමත් සමග මතුවූ විරෝධතා මධ්‍යයේ ඔවුන් දෙදෙනා රහසින් පලාගොස් නව කැදැල්ලක අලුත් ජීවිතයක් ආරම්භ කළේ සතුටිනි.

ඔවුන්ගේ සතුට සීමාවුණේ මාස හයක කාලයකට පමණි. දිනක් ඔහු නීතිය සුරකින ස්ථානයකට පැමිණියේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නටය. වර්තමානයේ පවතින ආර්ථික ගැටලු හමුවේ තවදුරටත්  තම බිරිඳ නඩත්තු කිරීමේ හැකියාවක් නොමැති  බැවින්, ඇය මවගේ නිවසට  පිටත් කර යැවූ බවත්, ඇය දික්කසාද කිරීමට අවශ්‍ය බවත්, ඔහු එහි සිටි නිලදරුවන්ට ප්‍රකාශ කළේය.

ඔහුගේ පැමිණිල්ලට අනුව, දෙදෙනා කැඳවූ අවස්ථාවේ ඇය පැමිණ සිටියේ මව සමගය. ඇය ඔහුගෙන් වෙන්වීමට කැමැත්තක් නොදැක්වූවාය. නිලදරුවන් කොතෙක් කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කළත් කිසිවක් සාර්ථක නොවීය. ඔහුට අවශ්‍ය වූයේ දික්කසාදය පමණි. ඔහු රැකියාවක් නොකරන බවත්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවත් එහි දී හෙළිවිය.

අවසානයේ දී නිලදරුවන්ට සිදුවූයේ, සිවිල් අධිකරණයක නඩුවක් පවරා දික්කසාදය ලබාගන්නා ලෙස උපදෙස් දී ඔහු පිටත්කර හැරීම පමණි.

 ජීවිතය සොයා සියල්ලටම හොරෙන් ඔහු  සමග පලාගොස්, අවසානයේ  ඉච්ඡාභංගත්වයට පත් ඇය, මව සමග දැඩි ශෝකයෙන්   පිටව යන  අයුරු නිලදරුවන් බලාසිටියේ කනගාටුවෙනි.

දිගාමඩුල්ල විශේෂ ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ