බැංකු පොතට සල්ලි දාන්න ගිහින් වෙච්ච වැඩක්


(තලාතුඔය ටී.එච්. සරත්)

ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. තම ව්‍යාපාර කටයුතුවලට සොහොයුරාද හවුල්කර ගෙන ඇත. මොහු ව්‍යාපාරවල මුදල් හදල් කටයුතු පමණක් සොයා බලන අතර අනෙකුත් කටයුතු සොහොයුරාට පවරා තිබේ.

මෙදිනද සොහොයුරා කැඳවූ ව්‍යාපාරිකයා බැංකුවට ගොස් රුපියල් විසිපන්දහසක මුදලක් තැන්පත් කර එන ලෙස කියා ඒ සඳහා අදාළ පෝරමය ද පුරවා මුදල් ද ඔහු අත තැබීය. බැංකුව වෙත ගිය ඔහු අදාළ පෝරමය හා මුදල් බැංකු නිලධාරිණියට දුන්නේය. ඇය රූමත් යෞවනියකි. ඔහු දෙස කීප වරක් බැලූ ඇය නොකඩවා සිනාසෙන්නට වූයේ මුව ද සාරිපොටින් වසා ගනිමිණි.

ඇය දෙස බලා සිටි ව්‍යාපාරිකයාගේ සොහොයුරාට මෙය අරුම පුදුම දෙයක් විය. ඔහු බැංකු නිලධාරිනියගෙන් ඇයි ද? යන්න විමසූ කළ ඇය සිනාසෙමින් ම අදාළ පෝරමයේ ගිණුම් අංකය දෙසට ඇඟිල්ල තබා පෙන්වූයේය. ඔහුට ද සිනහව නවතා ගත නොහැකි විය. තම සොහොයුරා ගිණුම් අංකය වෙනුවට ලියා ඇත්තේ ජංගම දුරකථනයේ අංකයයි. බැංකුවේ සිටි මිත්‍රයෙකුගේ දුරකථනය ඉල්ලා ගත් ඔහු තම ව්‍යාපාරික සොහොයුරාට කතාකොට නිවැරදි ගිණුම් අංකය ලබාගෙන මුදල් බැංකුගත කළේ ඉන් අනතුරුවය.