බ්ම වැටෙන දූරියන් බේරගන්න මඩුවක් ගහගෙන නිදි මරලා


(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
රාත්‍රියට ඉදිලා වැටෙන දුරියන් අසල්වාසීන් ඇහිඳ ගන්නවා යැයි පවසා සවස සිට එළිය වැටෙන තුරු දුරියන් ගහක් යට කූඩාරමක් තනාගෙන ලන්තෑරුමක් දල්වා රැය පහන් කරන වියපත් කතක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය.


වයස අවුරුදු 79ක වයෝවෘද්ධ කාන්තාවක් තනිවම නිවසේ ජීවත් වේ. ඇගේ ස්වාමි පුරුෂයා මීට අවුරුදු 12කට පමණ ඉහතදී මිය ගියේය. ඇයට දරුවන් තිදෙනෙකි. වැඩිමල් පිරිමි දරුවා කිලෝමීටරයක් පමණ ඈතින් ජීවත්වෙන අතර දෙවැනි පිරිමි දරුවා පොල්ගහවෙල පදිංචිව සිටියි. තෙවැනි ගැහැනු දරුවා දඹුල්ල, ගලේවෙල ප්‍රදේශයට විවාහ වී ගොස්ය.


 මෙම වයෝවෘද්ධ කාන්තාව පදිංචිව සිටින ඉඩම අක්කර දෙකකට වැඩිය. මෙම ඉඩමේ කෙළවරක නිවස තනා ඇති අතර නිවසේ සිට මීටර් 150ක් පමණ ඈතින් විශාල දුරියන් ගසක් ඇත.


තමන් ළඟට එන්නැයි දරුවන් තිදෙනා කොපමණ මවට කීවත් මව කිසිවක් ගාණකට නොගෙන මහගෙදර නිවසේ පදිංචිව සිටියි. වත්තේ ඇති දුරියන් ගහේ මෙවර දුරියන් ඵලද‌ාව ජයටම හටගෙන ඇත. සති දෙකක පමණ කාලයක සිට දිවා රාත්‍රියට ගෙඩි තුන හතර ඉදී වැටෙන බව ද වාර්තා වෙයි. දුරියන් ගහෙන් රාත්‍රියට වැටෙන ගෙඩි ගාණ ගණන් කර අලුයම ඇහිඳීමට ගිය ද ගස යට එක දුරියන් ගෙඩියක්වත් අලුයම ඇහිඳ ගැනීමට තිබුණේ නැත. දුරියන් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඇය සිටියේ තරමක් කනස්සල්ලෙනි.


පසුව කාන්තාව මේ බව අසල පදිංචි වැඩිමහලු දරුවාට කීව ද ඵලක් වූයේ නැත. පසුව අසල්වැසි පුද්ගලයකුට මේ බව පවසා දුරියන් ගස ආසන්නයේ ටකරන් සෙවිලි කරගත් මඩුවක් පසු දිනම තනවා ගත්තාය. රාත්‍රී 7ට පමණ නිවසේ ඇති පැරැණි ලන්තෑරුමත් දල්වාගෙන විදුලි පන්දමකුත් අතැතිව නිදිවරාගෙන ටකරන් මඩුවේ සිට රාත්‍රියට වැටෙන දුරියන් එම මොහොතේම ඇය අහුලා පෙරවරුවේ ගම්වාසීන්ට අලෙවි කරන බව වාර්තා විය.


 මේ බව දැනගත් දුරියන් ඇහිලූ ගම්වාසී තරුණ පිරිස ඉකුත් දිනක රාත්‍රියේ පොළොස් ගෙඩියක් කඩා දුරියන් ගහ යටට වීසිකර එම ස්ථානයෙන් පිටවී ඈතට ගොස් බලා සිට ඇත. දුරියන් ගෙඩියක් වැටුණා යැයි සිතා ගස යටට ගිය ද ඇයට දැකගත හැකි වී ඇත්තේ තඩි පොළොස් ගෙඩියකි. පසුව ඇය රාත්‍රියේම විදුලි පන්දම හතර වටේට අල්ලා මහ හයියෙන් පරුෂ වචනයෙන් බැන වැදී ඇත.