කරන්දෙණිය-එම්. සුසිල් පියන්ත
බසයේදී කාලයකින් හමුවූ පාසල් මිතුරියට පොඩි විහිළුවක් කර ලොකු අමාරුවක වැටුණු අයකු ගැන දකුණේ ගමකින් අසන්නට ලැබේ.
පාසලේ පංති කාමරයේදී ඔවුනොවුන් හැසුරුණේ මිතුරු, මිතුරියන්ටත් වඩා එහා ගිය බැම්මකිනි. එය සහෝදර බැඳීමක් මෙනි. පාසලේදී මෙන්ම ඉන් බැහැරවත් මේ බැඳීම නම් වෙනස් වූයේ නැත.
පාසල් සමයෙන් පසුවත් වසර කිහිපයක් යන තෙක්ම මේ බැඳීම පැවැතියේය. පවුල් පන්සල් වීමත් සමගම මිතු දම ගිලිහී යමින් පැවතියේ ඔවුනටත් නොදැනීමය.
මේ අල්ලපනල්ලේ කාලයකට පසු මේ මිතුරු සංසදයේ සිටි ඔහුට බස් රථයේදී පාසල් මිතුරියක හමුවිය. ඇය දැකීමෙන් ඔහුගේ සතුට නිම්හිම් නැතිවිය. පාසල් කාලයේදී දුටුවාටත් වඩා ලස්සනක් ඔහු ඇයගෙන් දුටුවේය. වසර ගණනාවකට පසුව වුවද ඔහුට ඇය හඳුනාගත හැකිවූයේ ඇයගේ කන ආසන්නයේ තිබූ උපන් ලපය නිසාය. මුඛ ආවරණයක් පැළඳ සිටි නිසා ඇයට ඔහු හඳුනා නොහැකි විය.
මේ නිසා ඔහු ඇයට පොඩි විහිළුවකට මෙන් සෙනග පිරි බසයේ සිටි ඇයගේ උරයට පොඩි තට්ටුවක් දමා අහක බලා ගත්තේය. ඒ සමගම ඔහුගේ කන පුරවා ඇය පහරක් ගැසුවේ බසයකවත් යන්න දන්නේ නැති අවලමෙක් කියමිනි. ඇයට අලගු තබමින් බසයේ සිටි පිරිසකුත් ඔහුට නෙළන්නට එකතු වූහ.
වළලු දැමූ අතින් වැදුණු කනේ පහරින් උතුර දකුණ මාරුවී ගිය ඔහු වහාම මුඛ ආවරණය ගලවා තමාගේ නම කියමින් ඇයගේ නම අමතා කතා කර කීවේ තමා පරණ මිතුරකු බවය. ඔහු හඳුනාගත් ඇයට ද කරගන්න දෙයක් නොමැති විය. මේ මගේ හොඳ යහළුවෙක් වැරදිලයි මට මෙහෙම වුණේ යයි ඇය කීවේ ඔහුගෙන් සමාව ඉල්ලමිනි.