බස් මගියාගේ “ගේම” අතේ පත්තුවෙලා


කොළඹ සිට තංගල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී බස් රථයක් වෙරළබඩ ආපන ශාලාවක නවතා යළි ගමන් අරඹත්ම එහි වූ මගියකු කෑ ගැසුවේ තම ආසනය අසල වූ මගියකු පැමිණ නැති බවය. ඔහු තංගල්ල දක්වාම ටිකට් ගත් අයකු බවද කියැවිණි.


රියැදුරා නැවත වහා බසය පාර අයිනේ නවතා කොන්දොස්තර ආපන ශාලාව වෙත යැවුවේ මගියා ගැන තොරතුරක් සෙවීමටය.


ඔහු එහි යනවිට එම මගියාත් ආපනශාලා හිමිකරුත් අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව පෙනිණ.


“අන්තිම මොහොතේ දාහෙ කොළේ දීල කලබලේට මාරු කරගන්න හැදුවම මම මේක හිතුවා.” මහ හඬින් කී ආපනශාලා හිමිකරු “මෙයා හොර දාහෙ කොළයක් මාරු කරන්න ආවා. මම පොලිසියට කෝල් කළා. මහත්තයල යන්න.” කොන්දොස්තරට කීවේ ස්ථීර හඬිනි.


මේ සඳහා මගියාගේ කැමැත්ත ගෙන ඔහු ආපසු දිව විත් මේ ගැන රියැදුරුට සහ මගීන්ට කී විට එක් මගියකු කීවේ ඔහු බස්රථයට දී ඇති මුදල ද පරීක්ෂා කරන ලෙසට ය. වහා තම මුදල් පරීක්ෂා කළ කොස්දොස්තරට තරු පෙනුණේ හොර රුපියල් දහසේ කොළයක් එහි ද ඇති බව හැඟුණ හෙයිනි. 

(තිහගොඩ උපසේන ලියනගම)