බස් ගාස්තුව යාචකයකුට දී කත බසයේ යන්න හිඟාකයි


හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්


බස් රථයක ආධාර මුදල් එකතු කරමින් සිටි පුද්ගලයකුට ටිකට් ගැනීම සඳහා තිබූ මුදල ලබාදුන් මැදිවියේ කාන්තාවකට ටිකට් පත ලබා ගැනීම සඳහා වෙනත් මගියකුගෙන් උදව්ඉල්ලා ගැනීමට සිදු වූ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.

එය කන්ද උඩරට පිහිටි කුඩා නගරයකි. නගරයේ සිට ගම්මාන රැසක් සඳහා බස් රථ ධාවනය වන අතර එම බස් රථවල විවිධ රෝගාබාධ සඳහා ආධාර මුදල් එකතු කරන පිරිස්වලින්ද අඩුවක් නොවීය.

නගරයේ සිට කිලෝ මීටර් දහයක් පමණ දුරින් පිහිටි ගම්මානයක් සඳහා ගමන් කරන බස් රථයකට ද මෙලෙස ආධාර මුදල් එකතු කරන දෙදෙනකු ගොඩ වූයේ ශල්‍යකර්මයක් කිරීමට නියමිත තම ඥාතියා‌ සම්බන්ධ වෛද්‍ය වාර්තාද රැගෙනය.

මෙම ආධාර ඉල්ලා පැමිණි දෙදෙනාගෙන් එක කෙනකු පුද්ගලයා බස් රථයේ සිටි මගීන්ට සෑහෙන වේලාවක් පැහැදිලි කිරීම්වලින් පසුව බස් රථයේ මුල සිට ආධාර මුදල් එකතු කිරීම සඳහා අසුනින් අසුනට පැමිණෙමින් සිටියේය.

මෙම අවස්ථාවේ පිටත් වීමට ද සූදානම්ව තිබූ අතර බස් රථයකට හදිසියේම ගොඩ වූ මැදි වියේ කාන්තාවක පසුපස අසුනක වාඩි වූයේ රුපියල් පනහක මුදලක් ද අතේ ඇතිවය.

මෙම අවස්ථාවේ බස් රථයේ මුල සිට පැමිණි පුද්ගලයා මෙම කාන්තාව ළඟට ද පැමිණි අතර ඇය තමා සතුව තිබූ රුපියල් පනහ ඔහු අත තැබුවාය.

බස් රථයේ ආධාර එකතු කිරීම අවසන් වූ ඔහු බසයෙන් බැස ගිය අතර ඒ වන විටත් පණ ගන්වා තිබූ බස් රථයට ගොඩ වූ කොන්දොස්තර මගීන්ට ටිකට් කැඩීම ආරම්භ කළේය. බසයේ පසුපස සිටි මෙම මැදි වියේ කාන්තාව අසලටද පැමිණි කොන්දොස්තර මහතා ටිකට් ලබා ගන්නා ලෙස ඇයට කියද්දී තමා ටිකට්වලට මුදල් දුන් බව ඇය පැවැසුවාය. අසල අසුනේ සිටි මගියා සියල්ල පැහැදිලි කර දුන්නේය. එහෙත් සිය දියණියගේ නිවෙසට යාම සඳහා පමණක් මුදල් රැගෙන විත් තිබූ බැවින් ඇය අසරණ වූවාය. කොන්දොස්තරද දිගින් දිගටම මුදල් ඉල්ලා සිටියෙන් ඇය තව තවත් අසීරුතාවට පත්විය. අවසානයේ මෙම කාන්තාවගේ ගමන සඳහා රුපියල් 50 ක මුදල ද අසල අසුනේ සිටි මගීයාගෙන් ඉල්ලා ගැනීමට ඇයට සිදු විය.