බසයේ ලව් සීන් වීඩියෝ කළ කැමරාව කුඩු


පෞද්ගලික බස්රථයක යමින් සිටි තරුණ පෙම්වතෙකු තම පෙම්වතිය සමග පවසන ආදර බස් වීඩියෝ කිරීමට ගිය කැමරා ශිල්පියකු බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට මුහුණ දුන් පුවතක් සත් කෝරළයට අයත් ප්‍රදේශයකින් වාර්තා විය.


 පෞද්ගලික බස්රථය මගීන්ගෙන් පිරී තිබුණි. එහි පිටුපස අසුනේ තරුණ පෙම්වතියක් සහ තරුණ පෙම්වතෙක් ආදර බස් දොඩමින් එකිනෙකාට තුරුළුව සිටියහ. මේ දෙදෙනා වරෙක හයියෙන් සිනාසෙමින්ද තවත් වරෙක උසුළු විසුළු කරමින්ද ගමන් කරන ආකාරය සෙසු මගීන්ගේ නිදහසට බාධාවක් විය.


 මෙම බස් රථය තුළ වීඩියෝ කැමරා ශිල්පියෙකුද සිටියේය. ඔහුට මේ දසුන මහත් හිසරදයක් විය. වහා ඔහු තම බැගය විවර කොට කුඩා වීඩියෝ කැමරාවක් එළියට ගත්තේය.


එම කැමරාව ක්‍රියාත්මක කරමින් මොහු බස් රථය තුළ එහාට මෙහාට ඇවිදිමින් පෙම්වතාගේ හා පෙම්වතියගේ දසුන් වීඩියෝ ගතකළේය. ටික දුරක් යනවිට පෙම්වතාට යකා නැංගේය. ඔහු කැමරා ශිල්පියාට සැරෙන් කතා කළේය. පසුව කැමරාව උදුරා ගෙන බස්රථයේ කවුළුවෙන් එළියට විසි කළේය.


කැමරා ශිල්පියාගේ වීඩියෝ ගත කිරීමේ වැඩසටහන ඒ අනුව නිමාවට පත්විය. පසුව කැමරා ශිල්පියාට තමන් අතින් සිදුවුන අසාධාරණය ගැන සංවේදී වී අලුතෙන්ම කැමරාවක් පෙම්වතා විසින් ලබාදී  ඇති බව ආරංචි විය. 

(බිංගිරිය වික්ටර් සෝමවීර)