බසයේ දමාගිය කේක් ගෙඩිය කෑවාට වන්දි ගෙවන්න වෙලා


බසයක අමතක වී ගිය කේක් ගෙඩියක් කපාගෙන කෑ බස් රථ රියදුරු, කොන්දොස්තර ඇතුළු පිරිසකට කේක් ගෙඩියේ හිමිකාරියට වන්දි ගෙවන්නට සිදුවීමේ පුවතක් ගම්පහ බස්පොළෙන් වාර්තාවේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
ප‍්‍රසිද්ධ නගරයක සිට ගම්පහ බලා දිවෙන බසයකට කේක් ගෙඩියක් අතින් ගත් කාන්තාවක  ගොඩවූවාය.
බසය මගීන්ගෙන් පිරී පැවති බැවින් ඇය අසුනක වාඩි වී සිටි සිසුවියකට කේක් ගෙඩිය භාර දුන්නාය.
සිසුවිය කේක් ගෙඩිය සුරක්‍ෂිතව ගෙන ගිය අතර කේක් ගෙඩියේ හිමිකාරියට කේක් ගෙඩිය අමතක වී බසයෙන් බැස ගියාය.
සිසුවිය ගම්පහදී බසයෙන් බැසීමට සැරසී වටපිට බැලූවත් කේක් ගෙඩියේ හිමිකාරිය දක්නට නොවූයෙන් ඇය එය අසුන මත තබා බසයෙන් බැස්සේ වෙන කළයුතු දෙයක් නොවූ  නිසාවෙනි.
බසය බස් ගාලට ගෙන ගොස් පරීක්‍ෂා කිරීමේදී රියැදුරු සහායක දෙදෙනාට කේක් ගෙඩිය හමුවිය.
හිමිකරුවකු නොවූ කේක්ගෙඩිය බස් රථ රියැදුරු හා කොන්දොස්තර මිතුරන් සමග එක් වී කපා රස බලන්නට සැරසෙද්දීම කාන්තාවක එතැනට පැමිණියාය.
‘‘අනේ මගෙ කේක් ගෙඩිය මේ බස් එකේ බැරිවෙලා ගියා. ඔයාල කපාගෙන කනව නේද? ඔයාල නම් හරි නරකයි. කේක් ගෙඩිය නම් මට  ඕනෑ”
බස් රථ රියැදුරු කොන්දොස්තර දෙපළට කිසිත් කරකියා ගත නොහැකි විය. ඔවුහු කේක් ගෙඩියේ වටිනාකම ඇයට ගෙවා දමා කේක් ගෙඩියම මිතුරන් සමග බෙදා ගෙන කෑහ.