බසයේ කවුළුවට රණ්ඩු කළ දෙදෙනාට අපූරු දඬුවමක්


බැලූ හැම පැත්තෙම මීදුමයි. දකුණු පළාත් මායිමේ සිට අගනුවරට එන බසයකි. දහවලට මෙන් වාහන රෝද අතරින් ඇවිස්සෙන දුහුවිල්ල එතරම් නොවීය. දිනපතා බසයේ යන්නවුන් කවුළු අයින් අල්ලා වාඩිවී සිටින අතර ඇතැමෙක් හිස පහතට නමාගෙන නිදති. ඇතැමෙක් තමා අසල වාඩි වී සිටින්නාට බර දී බෙල්ල පද්දමින් නිදති. මෙසේ මීදුම කපාගෙන අගනුවරට එන අනෙක් බස් රථවල සේම මෙහි ද කවුළු සියල්ල උදෑසන වසා තිබූ අයුරින්ම තිබේ. මොරටුව ආසන්න වෙද්දීම බසය අතුරු සිදුරු නැති තත්ත්වයක් ඇති විය. බසයේ හිටගෙන සිටි මගියෙක් වේගයෙන් කවුළුවක් විවර කළේය. ඒත් සමගම කවුළුව අසල අසුනේ වාඩිවී සිටි මගියා දැස් විවර කොට බලා කවුළුව නැවතත් වැසුවේය. හිටගෙන සිටි මගියා දත් කූරු කමින් නැවතත් වීදුරුව විවර කරමින් මෙසේ කීය. අරිනවා වීදුරුව, අපි තැම්බෙනවා. ඉඳගෙන සිටි මගියා නැවතත් වීදුරුව වසා තැම්බෙනවා තැම්බෙනව නම් තුන පහ ටිකක් දාගන්නවා..යැයි ගුගුරමින් කීවේය. තුන පහ... තුන පහ... මම කියන්නෑ තුනපහ දාගන්න හැටි එවර හිටගෙන සිටි මගියා මඳ සිනාවකින් යුතුව අවඥාවෙන් මෙන් එසේ කියමින් නැවතත් වීදුරුව විවර කළේය. මොකද දත් නැතිව බත් කන්න ආසද? වාඩි වී සිටි මගියා ඉතා ආවේගයෙන් ඇසීය. බත් කන්න...බත් කන්න තියෙනව නම් කොච්චර හොඳද දත් නැතිව හරි අද හාල්වල ගණන් හැටියට චූ...ස් ඒත් සමගම පළාත දෙවනත් කරන හඬක් සමගම බසය මාර්ගයෙන් අයින් කැර නැවැත්වීය. බස් රථයේ ඉදිරි රෝදයේ හුළං ගොස් තිබිණි. මගීන් සියල්ලන්ටම බසයෙන් බැසීමට සිදුවිය. කවුළුවට රණ්ඩු කළ දෙදෙනාම මඳ වේලාවක් තිස්සේ බලා සිට මාර්ගයේ වෙනත් බසයකට ගොඩ වී එකම තැනක හිටගෙන යනු දැකගත හැකි විය.