වවුනියාව - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක කන්කරච්චල් සංගීතයට එරෙහිව මගියකු ඊට අදාළ විකාශන යන්ත්‍රයේ වයරය ගලවා දැමූ පුවතක් පසුගිය දිනක අසන්නට ලැබිණි.
තමන් අකමැති වුවද බහුතරයක් පොදු ප්‍රවාහන සේවාවල ගමන්ගන්නා මගීන්ට බහුලව අත්විඳීමට සිදුවන දෙයකි මෙම කන්කරච්චල් සංගීතය. ඊට අමතරව රූපවාහිනී තිර යොදාගෙන අවරගණයේ චිත්‍රපට හා රූප රචනා ඇතුළත් ගීත දර්ශන ද මෙහි ප්‍රදර්ශනය කෙරේ.
මෙම සිද්ධියට සම්බන්ධ මගියා මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි මැදිවියේ පුද්ගලයෙකි. ඔහු සිය තරුණ දියණිය සමග කිසියම් අවශ්‍යතාවකට පුද්ගලික බස් රථයකින් කොළඹට යමින් සිටියේය. මෙහිදී ඔවුන් අසුන්ගෙන සිටි අසුනට ඉහළින් රාක්කය තුළ සවිකර තිබූ ශබ්ද විකාශන (බෆල්) යන්ත්‍රයෙන් තොරතෝංචියක් නැතිව ගීත වාදනය වෙමින් පැවතිණි. “නංගිලා මල්ලිලා දෙන්න උස්සලා අප්පුඩියක්, දෙන්න හොඳ හූවක්” ආදී දේද ඒ අතරතුර අසන්නට ලැබුණි. සිය දියණිය සමග අසුන්ගෙන සිටි මගියා මෙම සිදුවීම්වලින් දැඩි සේ අපහසුතාවට පත්වී සිටියේය. ඒ අනුව ඔහු කොන්දොස්තරවරයා ඒ අසළින් යන අවස්ථාවක් බලා තමන්ට ඉහළින් ඇති ශබ්ද විකාශන යන්ත්‍රය ක්‍රියා විරහිත කරන ලෙස ඉල්ලා සිටියේය.
බස් රථයේ ශබ්ද විකාශන යන්ත්‍ර කීපයක් ඇති බවත් එකක් පමණක් ක්‍රියා විරහිත කළ නොහැකි බවත් මෙහිදී පවසා ඇති කොස්දොස්තරවරයා මගියාගේ ඉල්ලීම ඉවත දමා බස් රථයේ ඉදිරියට ගමන් කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ මගියා සිය අසුනින් නැගී සිට අදාළ ශබ්ද විකාශන යන්ත්‍රයේ පිටතට එල්ලෙමින් තිබූ වයරක් අතින් ඇද කඩා දමා එහි හඬ ක්‍රියා විරහිත කොට ඇත.

