බසයට නැග්ග බැංකු සේවිකාව අතරමග දමා ගිහින්


(කිරිඳිවැල උපාලි රණවීර) 
ත්‍රිකුණාමලය - කොළඹ පෞද්ගලික බස් රථයකින් කුරුණෑගල සිට බැලුම්මහර හන්දිය දක්වා ගමන් කරමින් සිටි 23 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ බැංකු සේවිකාවක රාත්‍රියේ පොතුහැර, අමුණුගම ප්‍රදේශයේ දී බසයෙන් බස්සවා යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


දොම්පේ ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය සෑම සති අන්තයකම බස් රථවලින් බැලුම්මහරට පැමිණෙන අතර එහිදී ඇයගේ දෙමාපියන් පැමිණ නිවසට කැටුවයාම සිදුකර ඇත. 


එදින ඇයගේ මුදල් පසුම්බිය නැතිවී තිබීම හේතුවෙන් ටිකට් ගැනීමට මුදල් නොමැතිවීම නිසා බස් රථයෙන් බලෙන් බස්සවා ඇත. පසුව ඇය මවට ජංගම දුරකථනයෙන් සිද්ධිය පවසද්දි ඒ අසල පෙට්ටි කඩයක සිටි යුවළක් ඇය සන්සුන් කර නිවසට යාමට මුදල් ලබා දී තිබේ. 


ඇය වෙනත් බසයකින් රාත්‍රී 9.00 ට පමණ බැලුම්මහරට පැමිණ ඇත. ඒවන විට රාත්‍රී 12.00 ඉක්මවා තිබූ බව ඇගේ දෙමාපියෝ පැවසූහ.


ඇය කුරුණෑගල බස් නැවතුමෙන් බසයට ගොඩව ඇත්තේ රාත්‍රී 7.45 ට පමණය. බස් රථයෙන් බලහත්කාරයෙන් බස්සවන විට රාත්‍රී 8.30 ට පමණ වූ බව ඇය කියයි. 


බස් රථය අතුරුසිදුරු නොමැතිව ජනයාගෙන් පිරී තිබී ඇති අතර ඒ අවස්ථාවේ මුදල් පසුම්බිය සොරකම් කරන්නට ඇතැයි ඇය පැවසුවාය.


මේ සම්බන්ධව පොතුහැර පොලිසිය ද දැනුවත් කළ බව ඇය කීවාය