බලු පෙට්ටියේ පත්තර කෑල්ල රහස හෙළිකරයි


ලියුම් පෙට්ටිය අසල කාඞ් බෝඞ් පෙට්ටියකි. කාඞ්බෝඞ් පෙට්ටියේ බලුපැටවුන් ගොඩකි. උදෑසන තැපැල් කාර්යාල සමීපයේ ඇති මේ දසුන කාගේත් නෙතට සංවේගයක් ඇති කළේය. එකම වර්ණයෙන් එකම ප්‍රමාණයෙන් යුතු මොවුන් දෙස බලමින් අනේ මේ කිරි බොන පැටවු මොන හිතකින් මෙතැනට ගෙනත් දැම්මද? කන්න බොන්න දෙන්න බැරිනම් මොකටද මේ සත්තු හදන්නේ යැයි ඇතැමෙක් කී අතර ඇතැමෙක් අනේ හරි ලස්සන බලු පැටව් පොමනේරියන් වගේ මෙතැන පිරිම සත්තු ඉන්නවද දන්නේ නැහැ යැයි ද කීහ.


කාර්යාලයේ සේවකයන් ආහාර ආදියෙන් සංග්‍රහ කිරීම නිසා නිතර ඒ අසල සුනඛයින් බළලුන් ආදිය අඩුවක් නොවීය. එනිසාත් මෙම පැටව් පිරිසත් හොඳින් ඇති දැඩි වෙතැයි සිතා මෙතැනට ගෙනැවිත් දමන්න ඇතැයි තවත් ඇතැමෙක් කීහ.


කෙසේ නමුත් නොහොබිනා ක්‍රියාවක්වූ මෙම බලු පැටවුන් කාර්යාලය අසලට ගෙනැවිත් දැමූ පුද්ගලයා සොයා ගැනීමට කාර්යාල ලිපිකරුවෙක් රහස් මෙහෙයුමක් ක්‍රියාවට නැංවූයේය. ඒ සඳහා බලු පැටවුන් තැපැල් කාර්යාලය අසලට ගෙනැවිත් දැමූ පෙට්ටියේ තිබූ පුවත් පතක කොටසක් සාක්ෂි වශයෙන් තබාගත්තේය. තව ටික දවසකින් මම මේ පරීක්ෂණය අනුව බලු පැටවුන්ගේ අයිතිකාරයින්ව කියන්නම්. බොහෝ දෙනා මවිත කරමින් ඔහු කීවේය.


දිනක් එක් තරුණියක් තැපැල් කාර්යාලයට පැමිණියේය. යම් කිසි සේවාවක් ඉටු කරගත් ඇය පිටත් වෙන්නට හදද්දී ඉහත සේවකයා ඇයට මෙසේ කීවේය. නංගී ඔයාලගේ බලු පැටව් හොඳින් ඉන්නවා එයාලව අතරමං කළාට ස්තුතියි කියන්නත් කිව්වා. අපේ ගරාජ් එක කට්ටියට ගෙදරට වඩා හොඳයිලු.


ඇයට කිසිවක් කර කියා ගත නොහැකි විය. සියල්ල හෙළිවී ඇති බැව් හැඟුණි. ඇය ලජ්ජාවෙන් ඇඹරෙමින් මෙසේ පැවැසුවාය.


‘අනේ අයියේ බලන්නකෝ අපේ තාත්තාගේ වැඩනේ. අහල පහල අයගෙන් වදේ කියලා මෙතැනට ගෙනත් දාලානේ. එසේ කී ඇය තැපැල් කාර්යාලයෙන් ලජ්ජාවෙන් පිටවී ගියාය.


ඒත් සමගම අනෙක් පිරිස පුදුමයෙන් මෙසේ ඇසූහ.


කොහොමද හරියටම ඒ ගෙදර අයයි බලු පැටව් ගෙනාවේ කියලා කිව්වේ.


එවිට සේවකයා මෙසේ කීය.


මේ තියෙන්නේ එදා අර බලු පැටව් ගෙනත් දමාපු පෙට්ටියේ තිබුණු කාඩදාසියක්. මේක ගිය සතියේ ගැසට් පත්‍රයක පිටුවක්. මේකේ හරියටම එක තැනක් හයිලයිට් කරලා පෑනකින් ලකුණු කරලා. ඉතින් මේකට ඉල්ලුම් කළ කෙනා ලියාපදිංචි ලිපියකින් අදාළ කටයුතු සම්පූර්ණ කරන්න මෙතැනට ඒවි කියලා මම හිතුවා. ඒ වගේම මේ පත්තර කඩදාසියේ තිබුණු අත් අකුරු කිහිපයකුයි ඒ ළමයාගේ අත්අකුරුයි හරියටම හරි. ඒකයි මම එහෙම කිව්වේ.

(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)