බල්ලෙකුට සාත්තු කරලා සීඅයිඩියටත් යන්න වෙලා


වලව - කේ.පී. සුමනදාස
අයාලේ ගොස් තුවාල වී සිටි බල්ලෙකුට වෙදකම් කරන්න ගොස් සෙවනගල ප්‍රාදේශයේ තරුණ දුප්පත් කාන්තාවකට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න සිදු වූ අපූරු පුවතක් වාර්තා වේ.


ඉතා අහිංසක දුප්පත් විවාහක අවුරුදු 30 ක් පමණ වන කාන්තාවක් රෝගාතුරව සිටින බල්ලන්, බළලු‍න්, හරක් වැනි සතුන් සුවපත් කිරීම සඳහා පශු වෛද්‍ය කාර්යාලයට ඇගේ වියදමින් රැගෙන ගොස් වෙදකම් කර සුව කරන්නීය. 


ඇය මෙම කාර්යය කරන අතරතුර ඇගේ ජංගම දුරකථනයේ මුහුණුපොත හරහා මෙම කාර්යය සඳහා කණ්ඩායමක් ගොනු වූහ. මේ සඳහා කොළඹ ප්‍රදේශයේ ආරක්ෂක අංශයට සම්බන්ධකම් කියන අයකුගේ බිරියක්ද කණ්ඩායමට ගොනු වී සිටියාය. 


දිනක් සෙවනගල තරුණ කත අයාලේ යන බල්ලකු බරපතළ ලෙස තුවාල වී සිටිනු දැක එම බල්ලාට වෙදකම් කර සුව කිරීමට සිතා බල්ලාගේ පින්තූරයක් තම මුහුණු පොතට යොමු කළාය.


කණ්ඩායමේ අය ඇය කරන සත් ක්‍රියාවට උදව් උපකාර කළහ. ඔවුහු මුහුණු පොත හරහා මෙම ක්‍රියාව සිදු කළහ. ඇය මුහුණු පොතට පින්තූරය යොමු කළ තුවාල වී සිටි බල්ලා වෙදකම් කිරීමට රැගෙන යාමට නිවසට ගෙනවිත් සිටියදී යළි බල්ලන් රංචුවට එක්කාසු වී ගියේය.


ඇයට එම බල්ලා පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන යාමට නොහැකි විය. මේ පිළිබඳව දැනගත් කණ්ඩායමේ සිටි ආරක්ෂක අංශයට සම්බන්ධ අයගේ බිරිය ඇයට මේ හේතුවෙන් අපහාසයක් සිදු වූ බවත් බල්ලාට වෙදකම් කිරීම හිතාමතාම අතහැර දැමූ බවත් පවසා කොළඹ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කළාය.


පැමිණිල්ලට අනුව පසුගිය දිනක සෙවනගල පොලිසියෙන් ඇයගේ නිවෙසට පැමිණ බල්ලකු පිළිබඳව ඇයට විරුද්ධව කොළඹ අපරාධ විමර්ශන අංශයේ පැමිණිලි කර ඇති බැවින් එහි ගොස් කට උත්තරයක් ලබාදෙන ලෙස පැවැසීය. 


මේ පිළිබඳව පුදුමයට පත්වූ ඇය සැමියා සමග කොළඹ අපරාධ විමර්ශන අංශයට ගොස් කට උත්තර දුන්නාය.


අහිංසක සතුන්ට වෙදකම් කිරීමට ගොස් පොලීසියේ ඉහළම ස්ථානයකට ගොස් කට උත්තර ලබාදීමට සිදු වීම පිළිබඳව ඇයට කිසිදු කළකිරීමක් නොතිබුණි. එහෙත් මුහුණු පොත හරහා සම්බන්ධ වී ඇය යොමු කරන පින්තූර උපයෝගී කරගෙන මෙන්ම ඇය සතුන්ට වෙදකම් කරන අයුරු පිළිබඳව තොරතුරු රැගෙන වෙනත් මාර්ගයකින් මුදල් උපයමින් සත්ගුණවන්තියක් ලෙස හැසිරුණ ආරක්ෂක අංශයට සම්බන්ධ සැමියකුගේ බිරිඳ පිළිබඳව ඇත්තේ මහත් කලකිරීමක් බවත් ඇය කීවාය.